'ඇය මිය ගියා, මම ඉතිරි වුනා'

Image copyright Ankit Srinivas
Image caption ඩොරිස්ගේ පරාර්ථ සේවය පිළිබඳ ගාසියාබාද් වැසියෝ කැමැත්ත පළ කොට සිටිති

ඇය නමින් ඩොරිස් ෆ්‍රාන්සිස් .

ඉන්දියාවේ දිල්ලි අගනුවරට ඔබ්බෙන් පිහිටි ගාසියාබාද්හි රියදුරු මහතුන්ට සහ පදිකයන්ට ඇය සුලබ දසුනක්.

ගාසියාබාද්හි කාර්යබහුල මංසන්ධියක රථවාහන තදබදය හසුරුවන ඩොරිස් වෘත්තියෙන් පොලිස් නිලධාරිනියක් නොවේ.

සෑම දිනකම එකම ස්ථානයේ සිට රථවාහන හසුරුවන ඇය හා මේ මංසන්ධිය අතර ඇත්තේ අමතක කළ නොහැකි මතකයක්.

2010 වසරේ සිදු වූ අනතුරකට ගොදුරු වී ඇයගේ දියණිය නිකී අවසන් හුස්ම හෙළුවේ මේ මංසන්ධියේදී.

'මම ඇය ගැන දන්නවා. ඇය තමන් ගැන නොසිතා කටයුතු කරනවා. ඇය මෙන් ධෛර්යමත් බොහෝ දෙනෙකු මම දැක නැහැ. තමන්ගේ දුව නැති වුන තැනට ඇය දිනපතා පැමිණෙන්න කොහොමද කියලා මම දන්නේ නැහැ' පොලිස් කොස්තාපල්වරයකු වන කුමාර් පල් සිං බීබීසීයට පැවසුවේය.

'වාරු ඇති තෙක්'

Image copyright Ankit Srinivas
Image caption උදෑසන සහ සවස කාර්යබහුල වේලාවන්හි මංසන්ධියට පැමිණෙන ඩොරිස් රථවාහන තදබදය හසුරවන්නීය
Image copyright Ankit Srinivas
Image caption 2010 වසරේ සිදු වූ අනතුරකට ගොදුරු වී ඇයගේ දියණිය නිකී අවසන් හුස්ම හෙළුවේ මේ මංසන්ධියේදී

වේගයෙන් පැමිණි මෝටර් රථයක් සිය දියණිය හා තමා ගමන් ගත් ත්‍රි රෝද රථය හා ගැටුණු මොහොත ඇය සිහි කරන්නීය.

'ඇය මිය ගියා, මම ඉතිරි වුනා. එදා මීට වඩා හොදට රථවාහන තදබදය හැසිරුවා නම් කියලා මට හිතෙනවා' ඇය බීබීසීයට කියා සිටියාය.

කාර්යබහුල මංසන්ධිය තුළ පොලිස් නිලධාරියකු සේවයේ නොමැති විට පවතින රියදුරන්ගේ නොසැලකිලිමත් භාවය දෙස බැලීමේදී අනතුරක් සිදු වීමට පවතින ඉඩකඩ තේරුම් ගැනීම එතරම් අපහසු නොවේ.

නමුත් ඩොරිස් එහි සිටියදී බහුතරයක් රියදුරු මහතුන් ඇයගේ විදානයන්ට අවනත වන අතර මාර්ග තදබදය අවම මට්ටමක පවතින බව දැක ගත හැක.

මාර්ග නීති පිළිනොපදින පදිකයන් හා රියදුරන් දණ්ඩක් අතැති ඩොරිස්ගේ තරවටුවට ලක් වන අවස්ථාද නැතුවා නොවේ.

'මම මේ කටයුත්තේ යෙදෙන්න පටන් අරන් දැන් අවුරුදු හයකටත් වැඩියි. ජීවිත බේරා ගැනීම මගේ අරමුණයි. කිසිම මවකට දියණියක්, පුතෙක් හෝ ස්වාමියෙක් අහිමි වීමට ඉඩ නොතැබීම මගේ අරමුණයි. ඒ දේ තමයි මම මේ කරමින් ඉන්නේ. වාරු තියන තුරු මම ඒ දේ කරාවි' ඇය පවසන්නීය.