සිරියාවේ බෝම්බ ප්‍රහාරවලට හසු වී 'හතළිස් හයක් මරුට'

Image copyright AFP
Image caption මරුමුවට පත් පිරිසෙන් 'වැඩි දෙනෙක් සාමාන්‍ය වැසියන්'

සිරියාවේ හොම්ස් නගරයේ මෝටර් රථ දෙකක් තුළ පුපුරා ගිය බෝම්බ ප්‍රහාරයන්ට හසු වී අවම වශයෙන් පුද්ගලයන් හතළිස් හය දෙනෙකුවත් මරුමුවට පත් වී ඇති බව නිරීක්ෂණ කණ්ඩායමක් පවසයි.

බ්‍රිතාන්‍ය මූලස්ථානය කොට ගත් සිරියානු මානව හිමිකම් ආයතනයේ වාර්තාවලට අනුව මරුමුවට පත් පිරිසෙන් වැඩි දෙනෙක් සාමාන්‍ය වැසියන්.

විනාශයට පත් මෝටර් රථ සහ දුමින් වැසුණු වීදියේ දර්ශන විකාශනය කළ සිරියානු රජයේ මාධ්‍ය ප්‍රකාශ කළේ ප්‍රහාරයට ගොදුරු වී පුද්ගලයන් විසි පස් දෙනෙකුවත් මරුමුවට පත් වී ඇති බවයි.

හොම්ස් නගරය, 2011 වසරේදී සිරියානු ජනපති බෂර් අල් අසාද්ට එරෙහිව මුල් වරට කැරලි හට ගත් නගර අතුරින් එකක්.

කෙසේ නමුත් මේ වන විට හොම්ස් නගරයේ පාලනය පවතින්නේ සිරියානු ආණ්ඩුව යටතේයි.

'මරණ ඉහළට'

Image copyright Reuters
Image caption වසර පහකට ආසන්න කාලයක් පවතින සිරියානු ගැටුම්වලින් මේ දක්වා මරුමුවට පත් වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 250,000 කට අධිකයි

ප්‍රහාර දෙකට ගොදුරු වී විශාල පිරිසක් තුවාල ලබා ඇති බව පවසන නිරීක්ෂණ කණ්ඩායම් මරුමුවට පත් සංඛ්‍යාව ඉහළ යා හැකි බවට අනතුරු හඟවති.

මේ වන තෙක් බෝම්බ ප්‍රහාරයේ වගකීම කිසිවකු විසින් බාර ගෙන නොමැති අතර මීට ඉහතදී හොම්ස් නගරය ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ගේ ප්‍රහාරයන්ට ලක් වී තිබේ.

වසර පහකට ආසන්න කාලයක් පවතින සිරියානු ගැටුම්වලින් මේ දක්වා මරුමුවට පත් වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 250,000 කට අධිකයි.

තවත් එක් කෝටි දස ලක්ෂයකට ආසන්න පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර