දිල්ලි ජල සැපයුම 'සති දෙකක් ඇතුළත යථා තත්වයට'

Image caption දිල්ලි අගනුවර ජල සැපයුම මේ වන විට අඩ වශයෙන් යථා තත්වයට පත් කොට ඇත

උද්ඝෝෂණ හේතුවෙන් අඩාල වී තිබූ දිල්ලි අගනුවර ජල සැපයුම සම්පූර්ණයෙන් යථා තත්වයට පත් කිරීමට සති දෙකක් දක්වා කාලයක් ගත වනු ඇති බව ඉන්දීය බලධාරීහු පවසති.

දිල්ලි අගනුවරට නුදුරින් පිහිටි හර්යානා ප්‍රාන්තයේ හට ගත් ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ සමග ජල සැපයුම අඩාල වූ අතර ඒ හේතුවෙන් පීඩාවට පත් වූ පිරිස කෝටියකට ආසන්නයි.

'ජාත්' කුල ප්‍රජාව විසින් මෙහෙයවනු ලැබූ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ අතරතුර හානියට පත් ජල සැපයුම් මාර්ගය පිළිසකර කිරීම සඳහා ඉංජිනේරුවෝ කටයුතු කරමින් සිටිති.

කුල පදනම මත රැකියා, අධ්‍යාපන ඇතුළු සමාජීය අවස්ථා අහිමි ජන ප්‍රජාවන් වෙත සහන ලබා දීමේ අරමුණින් හඳුන්වා දී ඇති කෝටා ක්‍රමවේදයට තම කුල ප්‍රජාව අයත් නොකිරීම සම්බන්ධයෙන් 'ජාත්' උද්ඝෝෂකයෝ කෝපය පළ කරති.

කුලයෙන් ඉහළ යැයි සැලකෙන 'ජාත්' ප්‍රජාව කියා සිටින්නේ ඉන්දීය රජය මගින් ක්‍රියාත්මක කෙරෙන කෝටා ක්‍රමය සිය කුලයටත් ලබා දිය යුතු බවයි.

Image copyright AFP
Image caption කුලයෙන් ඉහළ යැයි සැලකෙන 'ජාත්' ප්‍රජාව කියා සිටින්නේ ඉන්දීය රජය මගින් ක්‍රියාත්මක කෙරෙන කෝටා ක්‍රමය සිය කුලයටත් ලබා දිය යුතු බවයි

ඉන්දියාව තුළ කුලයෙන් පහළ යැයි සැලකෙන ජන කොට්ඨාශ වෙනුවෙන් ක්‍රියාත්මක කෝටා ක්‍රමවේදයට අනුව ඔවුන්ට ඉහත කී සමාජීය අවස්ථා වෙනුවෙන් අනිවාර්ය ස්ථාන වෙන් කිරීමක් සිදු කරනු ලබයි.

ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ හේතුවෙන් පුද්ගලයන් දාසය දෙනෙකුවත් මරුමුවට පත් වූ අතර සඳුදා වසා දැමුණු පාසල් යළි විවෘත කොට ඇත.

ජාත් විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් දෙස අවධානය යොමු කරන බවට ආණ්ඩුව එකඟ වීමත් සමග උද්ඝෝෂණ පහව ගොස් තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර