ඇම්නෙස්ටියෙන් යහපාලනයටත් චෝදනා

ශ්‍රී ලංකාවේ වර්තමාන රජයත් මානව හිමිකම් ආරක්ෂා කිරීමට අපොහොසත් වී ඇති බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසයි.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ නවතම වාර්ෂික වාර්තාව මගිනුයි ශ්‍රී ලංකාව ඇතුළුව ලෝකය පුරා රටවල් බොහොමයක් මානව අයිතීන් රැකීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් දෝෂ දර්ශනයට ලක් කොට ඇත්තේ.

පොරොන්දු

ශ්‍රී ලංකාවේ නව රජය මගින් ව්‍යවස්ථා සංශෝධන සහ මානව හිමිකම් සුරැකීම සඳහා දුන් පොරොන්දු මගින් නව බලාපොරොත්තු ඇති කළ ද තවමත් මානව හිමිකම් සුරැකීම පිලිබඳ ප්‍රගතිය ප්‍රමාණවත් අයුරින් දැක ගත නොහැකි බවටයි ඇම්නෙස්ටි වාර්ෂික වාර්තාවෙන් මතුකොට දක්වන්නේ. විධිමත් නොවන ආකාරයේ අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම්, වධ හිංසා වලට ලක් කිරීම් සහ නුසුදුසු ආකාරයේ සැලකීම් මෙන්ම අතුරුදහන්වීම් සහ රැඳවුම් භාරයේ සිටිය දී මියයාම් වැනි දෑ තවමත් සිදු වන බවද වාර්තාව මගින් පෙන්වා දී තිබේ. එසේම කලක සිට ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන, වැරදි කරුවන් දඬුවම්වලින් මිදී යාමේ ප්‍රවණතාව වෙනස් වී නැති බවද මෙවර වාර්තාව මගින් අවධාරණය කොට ඇත.

Image caption සේයා ඝාතනයේ සැක කරුවන් පොලිස් වදහිංසා වලට ලක්වීම පිළිබඳව ද වාර්තාවේ සඳහන් වී තිබේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස්වරයා විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුව උතුරේ පැවති යුද්ධයේ අවසන් වසර හතක කාලය තුළ සහ යුද්ධය අවසාන වීමත් සමග සිදු වූ වා යැයි මතු කොට දක්වා තිබූ නීති විරෝධී ඝාතනය කිරීම්, වධහිංසාවලට ලක් කිරීම්, ලිංගික අතවර සහ සාමාන්‍ය ජනතාව වෙත හමුදා ප්‍රහාර එල්ල කිරීම් වැනි දෑ පිලිබඳ පසුබිම සිහිගන්වමින් අරඹා ඇති මේ වසරේ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සඳහන් කරුණු පිලිබඳ ශ්‍රී ලංකා රජය එකඟවූ අතර එමගින් නිර්දේශිත ක්‍රියාමාර්ග ගැනීමට ද රජය එකඟ වූ බවයි.

එසේවුවද, අත්අඩංගුවට ගැනීම් සහ වධහිංසා පැමිණවීම් පිලිබඳ තත්වයේ සාධනීය වෙනසක් වී නැති බව සනාථ කෙරෙන කොටදෙනියාවේ පස් අවුරුදු දැරියගේ ඝාතනයට සැක පිට අත් අඩංගුවට පත්වූ 17 හැවිරිදි පාසැල් සිසුවා සහ අනෙක් සැකකරුවාට පොලිස් අත්අඩංගුවේ දී සිදුවූ වධ හිංසා පිළිබඳව ද මෙවර ඇමනෙස්ටි වාර්තාවේ සඳහන් වී තිබේ.

Image caption වැලිවේරිය ඝාතකයන් ට දඬුවම් පනවා නොතිබීමද වාර්තාවේ සඳහන් කොට තිබේ

දඬුවම් නැහැ

බලය අයුතු ලෙස පාවිච්චි කිරීම සහ වරදකරුවන් දඬුවම් නොලබා නීතියෙන් ගැලවී යාම ද ශ්‍රී ලංකාව තුළ නොකඩවා සිදුවෙමින් පවතින බව සඳහන් කරන ජාත්‍යන්තර ක්ෂමා ආයතන වාර්තාව ඒ සඳහා එක් උදාහරණයක් ලෙස දක්වා ඇත්තේ වැලිවේරිය ජල ප්‍රශ්නයට අදාළ ඝාතනයට වග කිව යුත්තන්ට මේ වන තුරුත් දඬුවමක් ලබා නොදීමයි. එසේම උතුරේ යුද්ධය පැවති සමයේ සාමාන්‍ය වැසියන් ඝාතනය කළවුන් මෙන්ම මාධ්‍යවේදී ලසන්ත විකරමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, දේශපාලන ක්‍රියාධරයන් වූ ලලිත් වීරරාජ් කුගන් මුරුගානන්දන් ආදී ඝාතනයන් පිලිබඳ පරීක්ෂණ අවසන් නොවීමද වාර්තාවේ අවධානයට ලක්වී තිබේ.

නිදහස් අදහස් ප්‍රකාශනයට තවමත් ශ්‍රී ලංකාව තුළ බාධා සිදු වන බව පෙන්වා දෙන අතර සුළු ආගමික ප්‍රජාවට කෙරෙන නොසලකා හැරීම් සහ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට සිදුවන ලිංගික හා අනෙකුත් වදහිංසා පිළිබඳව සාක්ෂි සහිතව උපුටා දැක්වූ වර්තාවකුයි මෙවර ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් නිකුත් කොට ඇත්තේ.

Image caption යුරෝපයට පැමිණෙන සරණාගතයන් ගෙන් කොටසක් බාර ගැනීමේ වගකීමක් බ්‍රිතාන්‍යය ට ද ඇති බවයි වාර්තාව පවසන්නේ

අනෙකුත් රටවල්

මෙවර වාර්තාව මගින් ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ දෝෂ දර්ශනයට ලක් වී ඇති අනෙකුත් රටවල් අතරට බ්‍රිතාන්‍යය, අයර්ලන්තය, චීනය සහ ඉන්දියාව වැනි රටවල්ද අයත්වේ.

යුරෝපයට පැමිණෙන සරණාගතයන් රටවල් අතර බෙදාගැනීමේ වගකීමෙන් බ්‍රිතාන්‍යය තවමත් මගහරිමින් සිටින බවටයි ඇම්නෙස්ටි වාර්තාව මගින් චෝදනා කරනු ලැබ ඇත්තේ. යේමනයේ සිදු කෙරෙන මෙහෙයුම් හේතුවෙන් දහස් ගණනක් සාමාන්‍ය ජනතාව මිය යන බව පෙන්වා දෙන වාර්තාව එසේවුවද බ්‍රිතාන්‍ය තවමත් බිලියන ගණන් බ්‍රිතාන්‍ය පවුම් ලබා දෙමින් අවි ආයුධ සහ ප්‍රහාරක යානා සැපයීමට කරන දායකත්වය විවේචනය කොට තිබේ.

ගැටුම් පැවති සමයේ උතුරු අයර්ලන්තයේ සිදුවූ ඝාතන පිලිබඳ සොයා බැලීම මෙන්ම අවාහ විවාහ කටයුතු වල දී සමානාත්මතාවය රැක ගැනීම සහ ගබ්සාව වැනි කරුණු පිලිබඳ නීතිමය ප්‍රතිසංවිධානයක් නොමැති වීමද උතුරු අයර්ලන්තය දෝෂ දර්ශනයට ලක් වීමට හේතුවක් වී තිබේ.

Image caption කුලය පදනම් කොට ඇති සමාජ විෂමතා හේතුවෙන් සිදුවන අසාධාරණය පිටුදැකීමට ඉන්දියාව අපොහොසත් වී ඇති බවයි වාර්තාව පවසන්නේ.

මේ අතර ඉන්දියාවේ ද ශ්‍රී ලංකාවේ ආකාරයටම වදහිංසා පැමිණවීම සහ නීතිය සැමට සාධාරණ නොවීමේ ප්‍රවණතාවක් ඇති බව පෙන්වා දෙන වාර්තාව විශේෂයෙන් මතු කොට දක්වා ඇත්තේ ළමා අයිතිවාසිකම් හා කුලය පදනම් කොට ඇති සමාජ විෂමතා හේතුවෙන් සිදුවන අසාධාරණය පිටුදැකීමට ඉන්දියාව අපොහොසත් වී ඇති බවයි.

ජාතික ආරක්ෂාව නමැති සංකල්පයට මුවා වී මානව හිමිකම් ක්‍රියාධරයන් සහ නීතිඥයින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව චීනය දෝෂ දර්ශනයට ලක්වී ඇති අතර ඒ ආකාරයටම රජය විවේචනය කළ සාමකාමී පුද්ගලයන් ඇතුළුව දහස් ගණනක් අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම පිළිබඳව ඊජිප්තුව ද, සරණාගතයන් ට බාධා වන ලෙස දේශ සීමා වසා දැමීම පිළිබඳව හංගේරියාව ද මෙම වාර්තා ව මගින් විවේචනයට ලක් කොට තිබේ. සිරියාව, පකිස්තානය, ඊශ්‍රායලය, ගැම්බියාව, කෙන්යාව, රුසියාව සහ සෞදි අරාබිය ද මෙලෙස විවිධ හේතූන් මත ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ දෝෂ දර්ශනයට ලක් වූ රටවල් අතර වෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර