රාජද්‍රෝහි චෝදනා ලැබූ දිල්ලි සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවේ

දිල්ලි අගනුවර ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලය අසල උද්ඝෝෂණයක් සංවිධානය කිරීමෙන් අනතුරුව රාජද්‍රෝහි ක්‍රියා සිදු කළ බවට එල්ල වූ චෝදනා යටතේ සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය පවසයි.

ඉහත කී උද්ඝෝෂණය අතරතුර ඉන්දීය විරෝධී සටන් පාඨ හඬ නගා ඇති බවයි පැවසෙන්නේ.

උමාර් ඛාලිඩ් සහ අනිර්බන් භාට්ටාචාර්ය නමැති සිසුන් දෙදෙනා පොලිසියට බාර වූ බවයි වාර්තා වන්නේ.

2013 වසරේදී කාශ්මීර බෙදුම්වාදියකු එල්ලා මරා දමනු ලැබීමට විරෝධය පළ කිරීම සඳහා සංවිධානය කොට තිබූ රැළියක් සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගමයේ නායක කන්නයියා කුමාර් මේ මස මුලදී අත්අඩංගුවට ගනු ලැබුණි.

විරුද්ධ මත නොඉවසන අතර භාෂණයේ නිදහස සීමා කරන බවට විවේචකයෝ හින්දු ජාතිකවාදී ආණ්ඩුවට චෝදනා කරති.