'ජිමි නවත්වන්න ලැබුණු අවස්ථා බීබීසී කළමනාකරණය මගහැරලා'

Image copyright PA

බ්‍රිතාන්‍යයේ සුප්‍රකට බීබීසී රූපවාහිනී සහ ගුවන්විදුලි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ව සිටි 'ජිමි සැවිල්' විසින් සිදු කරන ලද ලිංගික අපයෝජන සම්බන්ධයෙන් බීබීසී කළමනාකරණය දැනුවත්ව සිටි බවට වාර්තාවක් පල වී තිබේ.

ජිමි සැවිල් 2011 වර්ෂයේ දී මිය යාමත් සමග ඔහු විසින් සිදු කරන ලද බරපතළ ලිංගික අඩන්තේට්ටම් සහ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් තොරතුරු හෙළි විය.

බ්‍රිතාන්‍යයේ විශාල වශයෙන් ලිංගික අඩන්තේට්ටම් සිදු කළ චරිතයක් ලෙස ජිමි සැවිල් හඳුනා ගනු ලැබුවේ ඔහුගේ මරණයෙන් පසුවයි.

විශ්‍රාම ලත් විනිසුරුවරියක වන ජැනෙට් ස්මිත්ගේ ප්‍රධානත්වයෙන් තොරතුරු රැස් කර ඉදිරිපත් කළ මෙම වාර්තාවේ සඳහන් වන්නේ බීබීසී වැඩසටහන් වලට සම්බන්ධ පුද්ගලයන් හැත්තෑවකට අධික ප්‍රමාණයක් ජිමි සැවිල් විසින් ලිංගික අපයෝජනයට ලක් කරනු ලැබ ඇති බවයි.

ගෞරව දැක්වීමේ සම්ප්‍රදාය

එලෙස ලිංගික අපයෝජනයට ලක් වූවන් අතරින් භාගයකට වැඩි ප්‍රමාණයක් අඩු වයස්කාර දරුවන් වන අතර ස්ත්‍රී දූෂණ සිදුවීම් අටක් ඒ අතර ඇත.

ජිමි සැවිල් විසින් සිදු කළ මෙම ලිංගික අපරාධ වැලක්වීමට බීබීසීය ලද අවස්ථා ගණනාවක්ම කළමනාකරණ නිලධාරීන් විසින් පැහැර හැර ඇති බවයි එහි තවදුරටත් සඳහන් වන්නේ.

වාර්තාව පෙන්වා දෙන්නේ බීබීසී ආයතනය විසින් සුප්‍රකට චරිත සම්බන්ධයෙන් පවත්වා ගෙන යන මහත් ලෙස ගෞරව දැක්වීමේ සම්ප්‍රදාය හේතුවෙන් ජිමි සැවිල් නීතියේ රැහැනට හසු නොවී දශක ගණනාවක් සැඟවී සිටි බවයි.

කෙසේ වෙතත් බීබීසි සේවය ආයතනයක් වශයෙන් ජිමි සැවිල්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් දැනුවත්ව සිටි බවට කිසිදු සාක්ෂියක් ලැබී නැති බව වාර්තාවේ සඳහන්.

ජිමී සැවිල් විසින් සිදු කරන ලද ලිංගික අපරාධ බීබීසී සේවයට පමණක් සීමා නොවූ බවත් ළමා නිවාස, රෝහල් සහ බ්‍රිතාන්‍ය පුරා පැතිර තිබූ බවට පසුගිය වසරේ තවත් තොරතුරු අනාවරණය විය.