නියමුවන් රහිත යානයක් මගී ගුවන් යානයක ගැටුනොත්

Image copyright AP

නියමුවන් නොමැතිව පියාසර කරවන යානයක් වෙනත් ගුවන් යානයක ගැටුනොත් උද්ගත විය හැකි තත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මෙන් බ්‍රිතාන්‍යයේ ගුවන් නියමුවන් විසින් ඉල්ලීමක් කරනු ලැබ ඇත.

එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වූයේ නියමුවන් රහිත යානා පියාසර කරමින් තිබුණ මගී ගුවන් යානාවන්හි ගැටීමට ගිය අවස්ථා යාන්තමින් වැළකීමේ සිද්ධීන් ගණනාවකින් පසුවයි.

Image copyright Getty

ඒ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ සඳහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව සහ ගුවන් ගමන් ආරක්ෂණ ආයතන අරමුදල් සැපයීමෙන් දායක විය යුතු බවයි බ්‍රිතාන්‍ය ගුවන් නියමුවන්ගේ සංවිධානය පවසන්නේ.

නියමුවන් රහිත කුඩා යානා පසුගිය මාස හය ඇතුළත විසිහය වතාවක් වෙනත් ගුවන් යානා වල ගැටෙන තත්වයක් උද්ගත වූ අතර එම අනතුරු යාන්තමින් මග හැරුණ බවයි නිල සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දෙන්නේ.

එවැනි යානයක් මගී ගුවන් යානයක ඉදිරිපස වීදුරුවල ගැටුනොත් එම වීදුරු කුඩු වීමට ඉඩකඩ ඇති අතර නියමුවන් එම වීදුරු කැබැලිවලින් නැහැවී යනු ඇතැයි බ්‍රිතාන්‍ය ගුවන් නියමුවන්ගේ සංවිධානය පවසයි.

Image copyright Michigan Technological University
Image caption නියමුවන් රහිත යානා හසුරුවන්නන්

අධිබලැති ලෝහ ද්‍රව්‍යයක් සහිත ‘ලිතියම්’ (lithium) බැටරි තැන්පත් කරනු ලැබ ඇති නියමුවන් රහිත යානයක් ගුවන් යානයක ගැටීම ගින්නක් හට ගැනීමට මෙන්ම යානයක් කඩා වැටීමකට හේතු විය හැකි බවත් ගුවන් නියමුවෝ පවසති.