පිළිකාවට පහර දෙන්න ප්‍රතිජීවක පද්ධතිය මෙහෙයවීමේ ක්‍රමයක්

පිළිකා නැසීමට මිනිස් සිරුරේ ප්‍රතිජීවක පද්ධතිය මෙහෙයවීමේ නව ක්‍රමයක් සොයා ගත් බව විශ්වාස කළ හැකි බව විද්‍යාඥයෝ පවසති.

යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායම විසින් මොළයේ පිළිකා වල පවතින දුර්වලතාවක් සොයා ගෙන ඇති අතර ඔවුන් පවසන්නේ මෙම දුර්වල ස්ථානය මිනිස් ප්‍රතිජීවක පද්ධතියට හඳුන්වා දීම තුලින් පිළිකාවට පහර දීමට ප්‍රතිජීවක පද්ධතිය මෙහෙයවීමේ හැකියාවක් පවතින බවයි.

කෙසේ වෙතත් පර්යේෂණ කණ්ඩායම විසින් හඳුන්වා දී ඇති මෙම පුද්ගල විශේෂ උපක්‍රමය ඉතා මිල අධික වන අතර තවමත් පිළිකා රෝගියෙකු සඳහා භාවිතා කර පරීක්ෂාවට ලක් කර නැත.

මෙම උපක්‍රමය ගැන විශ්වාසයක් තැබිය හැකි නමුත් ප්‍රායෝගික ව භාවිතා කිරීමේ දී ඊට වඩා සංකීර්ණ තත්වයකට මුහුණ දීමට සිදු විය හැකි බවයි පිළිකා පිළිබඳ විශේෂඥයන් පවසන්නේ.

Image copyright Reuters

බ්‍රිතාන්‍යයේ පිළිකා පර්යේෂණ ආයතනය විසින් අනුග්‍රහය දක්වන යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායම කියා සිටින්නේ සිය සොයා ගැනීම පිළිකා වලට ප්‍රතිකාර කිරීමට නව මුහුණුවරක් සපයනු ඇති බවයි.

වසර දෙකක් ඇතුළත මෙම නව උපක්‍රමයට පිළිකා රෝගීන් සුව කිරීමේ අත්හදා බැලීම් සිදු කිරීමට සිය කණ්ඩායම සුදානම් වන බවයි පර්යේෂකයන් කණ්ඩායම වැඩි දුරටත් කියා සිටියේ.

රෝගියාටම විශේෂ වූ එන්නතක්

පර්යේෂණ කණ්ඩායම මෙහෙයවන එක් මහාචාර්යවරයකු වන විද්‍යාඥ චාල්ස් ස්වෝන්ටන් නව සොයා ගැනීම භාවිතා කිරීමේ අදියර පැහැදිලි කරමින් කියා සිටියේ මෙම උපක්‍රමය පියවර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට සිය කණ්ඩායම බලාපොරොත්තු වන බවයි.

Image copyright Getty Images News

ඒ අනුව පළමු පියවර පිළිකාවේ දුර්වල ස්ථානයට පහර දීමට ප්‍රතිජීවක පද්ධතිය මෙහෙයවන රෝගියාටම විශේෂ වූ එන්නතක් නිර්මාණය කිරීම වන අතර දෙවන පියවර රෝගියාගේ සිරුරේ එලෙස හඳුනා ගත් දුර්වලතාවට පහර දීමට ක්‍රියා කරමින් සිටින සෛල හඳුනා ගෙන ඒවා විද්‍යාගාරයක් තුල වැඩි සංඛ්‍යාවකින් බෝ කිරීමට ලක් කර වැඩුණු සාම්පල නැවත සිරුරට ඇතුළත් කිරීමයි.

පිළිකා රෝගියෙකුගේ DNA විශ්ලේෂණය කිරීම තුලින් එම රෝගියාටම විශේෂ වූ එන්නතක් ලබා දී පිළිකාවට පහර දීමට ඔහුගේ ප්‍රතිජීවක පද්ධතිය මෙහෙයවීමට මෙමගින් හැකියාව උදා වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

මින් පෙරත් පිළිකා මර්දනය සඳහා මිනිස් සිරුරේ ප්‍රතිජීවක පද්ධතිය මෙහෙයවීමට විවිධ එන්නත් නිපදවීමට විද්‍යාඥයන් උත්සාහ කළ නමුත් ඒවා අසාර්ථක විය.