'දූෂණය කිරීමෙන් පසු පුළුස්සලා'

ඉන්දියාවේ දිල්ලි නුවර වයස අවුරුදු පහළොවේ දැරියක් පිළිස්සීමට ලක් කර ඇති අතර ඇය මේ වන විට ජීවිතයත් මරණයත් අතර තත්වයක පසු වන බවයි බලධාරීන් පවසන්නේ.

සීයට අසූවකට ආසන්න ප්‍රමාණයක් සිරුරේ පිලිස්සුම් තුවාල වලින් වේදනා විඳින දැරියට ගිනි තැබීමට පෙර ඇයව දූෂණයට ලක් කර ඇති බවයි දිල්ලි ජේෂ්ඨ පොලිස් නිලධාරි රාකේෂ් යාදෙව් බීබීසියට පැවසුවේ.

මේ වන විට දිල්ලි පොලිසියි සැක පිට එක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කියා සිටින්නේ මෙම සැක කරු දැරිය හඳුනන පුද්ගලයෙකු බවට තොරතුරු හෙළි වූ බවයි.

අජෙයි ශර්මා නමැති මෙම සැක කරු දැරියට අයගේ නිවසේ විවෘත උඩු මහලට පැමිණ තමන් හමු වන ලෙස දන්වා ඇති අතර පසුව ඇය දූෂණය කොට ගිනි තබා ඇති බවටයි කරුණු හෙළි වී තිබෙන්නේ.

Image copyright AFP

ස්ත්‍රී දූෂණ සහ ඝාතනයට තත් කිරීම යන චෝදනා යටතේ සැක කරුට එරෙහිව චෝදනා ගොනු කරන බවයි දිල්ලි පොලිසිය පවසන්නේ.

මෙම සිදුවීමෙන් පසු තිග්රි යනුවෙන් හඳුන්වන දිල්ලි නුවර ආසන්නයේ පිහිටා තිබෙන දැරියගේ ගමේ පොලිස් ආරක්ෂාව දැඩි කිරීමට කටයුතු කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

ඉන්දියාවේ දිගින් දිගටම සිදු වන කාන්තා දූෂණ සම්බන්ධයෙන් සමාජයෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර රට පුරා උද්ඝෝෂණ සහ විරෝධතා සංවිධානය වීම ප්‍රධාන වශයෙන් ම ආරම්භ කෙරුණේ මින් වසර තුනකට පෙර වෛද්‍ය සිසුවියක් බස් රථයක ගමන් ගනිමින් සිටිය දී සමූහ දූෂණය කොට මරා දැමීමේ සිදුවීමෙන් පසුවයි.