ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඇමරිකානු ජනාධිපතිවරණය: තීරණය 'විශේෂ නියෝජිතයන්' අතේ

එස් එල් සෙනෙහෙධීර

බීබීසී සිංහල

2017 ජනවාරි මාසය වෙන විට ලෝකයේ වඩාත්ම බලවත් රට ලෙස සැලකෙන ඇමරිකාවට නව නායකයෙකු තේරී පත්වීමට නියමිතව තිබේ.

ඉතා වෙහෙස කර මෙන්ම මිල අධික මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයකින් පසුවයි එලෙස ලොව බලවත් ම නායකයා වීමේ වරම් තරඟ වදින අපේක්ෂකයන් අතරින් එක් අයෙකුට හිමිවන්නේ.

ඇමරිකානු ජනාධිපතිවරයා බවට පත් වීම යනු රටේ නායක කමට පත් වීම පමණක් පමණක් නොව ලොව විශාලතම යුද හමුදාවේ අණදෙන නිලධාරියා බවට පත්වීමයි. එබැවින් එවැනි විශාල වගකීමක් දරණ නිළය සඳහා යමෙකු තෝරා ගැනීම සිදුවන්නේ ඉතා සංඛීර්ණ ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙනි.

විශේෂ නියෝජිතයන්

එක් එක් පක්ෂයේ නමින් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් අතරින් පක්ෂය තුළ නාම යෝජනා හිමිවෙන්නෙ කිනම් අයෙකුට ද යන්න තීරණය කෙරෙන්නේ සෑම ජනපදයකම කෙරෙන ඡන්ද විමසීමකින්.

තරඟකරුවන් තම පක්ෂය තුළ ‘ඩේලිගේට්ස්’ නමින් සාමාන්‍යයෙන් හඳුන්වන තම පක්ෂයේ ‘විශේෂ නියෝජිතයන්’ ගේ කැමැත්ත දිනා ගත යුතු වේ.

මේ ‘විශේෂ නියෝජිතයන්’ පක්ෂයේ ප්‍රධාන පෙලේ සාමාජිකයන් වන අතර පක්ෂයේ සම්මුතීන් පිලිබඳ තීරණ ගතහැකි වැදගත් පිරිසකි. එක් ජනපදයක් සඳහා කොපමණ ‘විශේෂ නියෝජිතයන්’ ප්‍රමාණයක් සිටිය යුතුද යන්න තීරණය වන්නේ ජනපදයේ විශාලත්වය අනුවයි. එබැවින් වැඩි ජනපද ප්‍රමාණයක් දිනාගතහොත් වැඩි ‘විශේෂ නියෝජිතයන්’ ප්‍රමාණයක් දිනා ගැනීමේ හැකියාව ලැබේ. ඒ අනුව නාමයෝජනා ලැබෙන්නේ එසේ වැඩි ‘විශේෂ නියෝජිතයන්’ පිරිසක් දිනාගන්නා අපේක්ෂකයාටයි.

ඇමරිකානු පුරවැසිභාවය

ඇමරිකානු ජනාධිපතිවරණය ට තරඟ කිරීමට නම් වසර 14 කට වඩා ඇමරිකාව තුළ පදිංචිය සනාථ කළ හැකි වයස 35 ට වැඩි වූ ඇමරිකානු පුරවැසියෙක් වීම පමණකි අවශ්‍ය වන්නේ. එහෙත් සැබෑ තත්වය නම් 1933 සිට මේ දක්වා පක්ෂයකින් නාම යෝජනා ලැබූ සෑම ඇමරිකානු ජනාධිපති අපේක්ෂකයෙකුම පළාත් ආණ්ඩුකාරවරයෙක් ලෙස හෝ සෙනෙට් සභිකයෙක් ලෙස එසේ නැතිනම් ‘තරු පහේ’ හමුදා ජෙනරාල් වරයෙක් ලෙස සේවය කළ අය බවයි පෙනී යන්නේ.

නාම යෝජනා ලබාගැනීමට නම් රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයකු විසින් ‘විශේෂ නියෝජිතයන්’ 1,237 දෙනෙකුගේ සහය දිනාගත යුතු අතර, ඩිමොක්ක්‍රටික් පක්ෂ අපේක්ෂකයකු විසින් ‘විශේෂ නියෝජිතයන්’2,383 දෙනෙකුගේ කැමැත්ත ලබා ගත යුතුවේ.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ දී ඉදිරියෙන් සිටින හිලරි ක්ලින්ටන් මෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ට ද ඔවුන් දිනා ගන්නා ‘විශේෂ නියෝජිතයන්’ සංඛ්‍යාව තීරණාත්මක සාධකයක් ව පවතී. කෙසේවුවද, මාර්තු 15 වෙනිදා ෆ්ලොරිඩා, ඔහියෝ, සහ නොර්ත් කැරොලිනා ජනපද වල පැවැත්වෙන ඡන්ද විමසීම තීරණාත්මක එකක් වනු ඇති බවටයි විවේචකයන්ගේ අදහස වී ඇත්තේ.