ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විස්සයි විස්ස : ක්‍රීඩා පිටියේ වෙනසක්

එස් එල් සෙනෙහෙධීර

බීබීසී සිංහල

ලෝකය පුරා සිටින ක්‍රිකට් ලෝලීන් ඉතා උනන්දුවෙන් බලා සිටින 2016 වසරේ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතව තිබේ.

එසේවුවද තරගාවලිය ආරම්භ වීමටත් ප්‍රථම කවදත් ක්‍රීඩාවේ දී මෙන්ම ඉන් බාහිර ලෝකයේ දීත් ප්‍රතිවාදීන් ලෙස ක්‍රියාකරන ඉන්දියාව හා පකිස්තානය අතර ගැටළුවක් හටගෙන ඇත. 19 වෙනිදා ඉන්දියාවේ ‘ධර්මසාලා’ක්‍රීඩාංගනයේ දී පැවත්වීමට නියමිතව තිබූ ඉන්දියාව හා පාකිස්ථානය අතර තරඟය කල්කටා ක්‍රීඩාංගණයේ දී පවත්වන්නට බලධාරීන් තීරණය කළේද මේ ගැට‍ළුව හේතුවෙනි.

Image copyright AP
Image caption පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශාහර්යර් ඛාන් ක්‍රීඩාංගනය මාරු කිරීම අනුමත කළ බවයි වාර්තාවන්නේ

ඉන්දියාවේ දී ඇරඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟයට සහභාගී වීම සඳහා ඉන්දියාවට යන පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් පිටත්වීම ආරක්ෂක හේතු මත පමා වී ඇති බවයි අද උදෑසනින්ම වාර්තා වූයේ.

ආරක්ෂාව

ඉන්දියාවෙ හිමාචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ අගනගරයේ කඳුකර නිකේතනයක් ආශ්‍රිතව ඇති ‘ධර්මසාලා’ ක්‍රීඩාංගනයේදී යි පකිස්තාන කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර තරඟය පැවැත්වීමට නියමිතව තිබුණේ. නමුත් පකිස්තාන ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති බවට පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කිරීම හේතුවෙන් පකිස්තාන ආරක්ෂක නිලධාරීන් පිරිසක් අඟහරුවාදා ඉන්දියාවට ගියේ ‘ධර්මසාලා’ ක්‍රීඩාංගනයේ තත්වය පිලිබඳ සොයා බැලීම සඳහායි. එම කණ්ඩායම විසින් නිකුත්කළ වාර්තාවේ සඳහන් කරුණු සලකා බැලීමෙන් පසුවයි 19 වෙනිදා පැවැත්වීමට නියමිත පකිස්තානය සහ ඉන්දියාව අතර තරඟය කල්කටාවේ දී පැවැත්වීමට තීරණය කොට ඇත්තේ.

Image copyright AP
Image caption ධර්මසාලා ක්‍රීඩාංගනය පක්ස්තාන ක්‍රීඩකයන්ට අනතුරුදායක බවයි වර්තාවුයේ

පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉන්දියාවට එරෙහිව සිදුවන ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට පකිස්තානය සම්බන්ධ බවට චෝදනා කරන ප්‍රදේශයේ ජනතාව කෝපයෙන් සිටින බැවින් පකිස්තාන ක්‍රීඩකයන් සඳහා ආරක්ෂාව සැපයීම ඔහුට කළ නොහැකි බවයි.

සන්නද්ධ ප්‍රහාර

මීට ඉහත දී මෙම ප්‍රදේශයේ ම පකිස්තාන දේශ සීමාව අසල ඇති ‘පතන්කොට්’ නම් ඉන්දියානු ගුවන් හමුදා කඳවුරට එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයකින් ඉන්දියානු භට පිරිසක් මිය ගොස් තිබුණි. ප්‍රදේශයේ ජනතාව විශ්වාස කරන්නේ එම ප්‍රහාර එල්ල කළේ පකිස්තානය විසින් බවයි. ඔවුන් පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පැමිණීමට විරුද්ධත්වය පළ කරන්නේ එබැවිණි.

1947 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබූ දා පටන් ඉන්දියාවත් පකිස්තානයත් අතර අමනාපයක් පවතී. එබැවින් දෙරට අතර ක්‍රිකට් තරඟ පැවැත්වීම ද සිදු වන්නේ ඉතා කලාතුරකිනි.

කෙසේවුවද මාර්තු 19 වැනිදා ‘ධර්මසාලා’ හි දී පැවැත්වීමට නියමිත තරඟය සඳහා පකිස්තාන කණ්ඩායම ක්‍රීඩා කරන්නෙ ද නැතිද යන්න පිලිබඳ අවසාන තීරණය පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ගනු ලබන බව උදෑසන වාර්තා වුවද දැන් තරඟය කල්කටා ක්‍රීඩා පිටිය වෙත මාරු කර ඇති බැවින් නිසැකවම තරඟය පැවැත්වෙනු ඇති බවටයි විශ්වාසය පළකෙරෙන්නේ