යමුනා ඉවුරේ සංස්කෘතික උත්සවයෙන් පරිසර හානි

Image copyright Reuters
Image caption අසුන් සහ වේදිකා වෙනුවෙන් තාවකාලික ඉදිකිරීම්

ඉන්දියාවේ දිල්ලි නුවර යමුනා ගංගා ඉව්රේ අද (සිකුරාදා) ආරම්භ කිරීමට නියමිත විශාල සංස්කෘතික උත්සවයෙන් ගංවතුර බැස යන තැනිතලාවට වලට දැඩි හානියක් සිදු වන බව පරිසර වේදීහු පවසති.

‘ශ්‍රී ශ්‍රී රවී ශංකර්’ නමැති ඉන්දියාවේ ප්‍රකට ආගමික නායකයාගේ සංවිධානත්වයෙන් දින තුනක් මුළුල්ලේ පැවැත්වීමට නියමිත මෙම උත්සවයෙන් පරිසර විද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් භූමි ප්‍රදේශයක් විනාශයට පත් වන බවටයි පරිසර වේදීන් චෝදනා කරන්නේ.

ඉන්දියාවේ පරිසර අධිකාරිය විසින් මෙම සංස්කෘතික උත්සවය පැවැත්වීම සඳහා අවසර දෙනු ලැබ ඇති නමුත් සිදු වන පරිසර හානිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ හතකට අධික දඩ මුදලක් ගෙවීමට සංවිධායකයන්ට නියෝග කර තිබේ.

තුන් දහසකට අධික කලාකරුවන්

Image caption ‘ශ්‍රී ශ්‍රී රවී ශංකර්’ ආගමික නායක

‘ශ්‍රී ශ්‍රී රවී ශංකර්’ ආගමික නායකයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ‘ආර්ට් ඔෆ් ලිවින්ග්’ සංවිධායක මණ්ඩලය පවසන්නේ රටවල් එකසිය පනහකින් ලක්ෂ තිස් පහකට අධික පිරිසක් මෙම උත්සවයට පැමිණෙනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවයි.

ඉතා විශාල පරිමාණයේ තාවකාලික ඉදිකිරීම් යටතේ අසුන් සහ වේදිකා වර්ග කිලෝමීටර් හතරක් දුරට විහිදෙන සේ ගොඩනගා ඇති අතර උත්සවයට පැමිණීමට නියමිත ලක්ෂ සංඛ්‍යාත ජනතාවට වැසිකිලි පහසුකම් සහ ආරක්ෂාව සැපයීමට සංවිධායකයන් සමත් වේ දැයි පරිසර සංවිධාන වෙතින් ප්‍රශ්න නැගෙයි.

‘ආර්ට් ඔෆ් ලිවින්ග්’ සංවිධානයට වසර තිස් පහක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන මෙම සංස්කෘතික උළෙලට තුන් දහසකට අධික කලාකරුවන්ගේ ඉදිරිපත් කිරීම් ඇතුලත් වෙයි.