IS සටන්කරුවන් 22000කගේ නම් හෙළි වෙයි

ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ සාමාජිකයන් දහස් ගණනකගේ තොරතුරු අඩංගු ලිපි ගොනු පරීක්ෂා කරමින් සිටින බව ජර්මනියේ ත්‍රස්ත මර්දන ඒකකයේ විශේෂඥයෝ පවසති.

මෙම ලිපි ගොනු පිළිබඳ තොරතුරු වාර්තා කරන බ්‍රිතාන්‍ය සහ ජර්මානු ජනමාධ්‍ය පවසන්නේ IS සංවිධානයට බඳවා ගැනීම් සිදු කිරීමේ දී එම පුද්ගලයන්ගේ සත්‍ය නම්, ලිපින සහ අනෙකුත් විස්තර සටහන් කළ අයැදුම් පත්‍ර මෙහි ඇතුළත් වන බවයි.

රටවල් හතළිහකට අධික ප්‍රමාණයක විසිර සිටින IS සාමාජිකයන් විසිදෙදහසකට ආසන්න ප්‍රමාණයක තොරතුරු අඩංගු මෙම ලිපි ගොනු ඉස්ලාම් රාජ්‍ය සංවිධානය බහු ජාතික සංවිධානයක් බව තහවුරු කරන බවයි මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන 'ස්ටෙෆාන් කොර්නේලියස්' පැවසුවේ.

Image copyright AFP

ජර්මනියට ඇතුළු වීමට උත්සාහ කරන IS සටන් කරුවන් හඳුනා ගැනීමට සහ ඉදිරි මෙහෙයුම් වලදී මෙම තොරතුරු භාවිතා කරමින් IS සටන් කරුවන් සිටිනා ස්ථාන පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලබා ගැනීමට මෙම තොරතුරු ඉවහල් වනු ඇති බවයි ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ.

මෙම ලිපි ගොනු 'හමෙඩ්' නම් හිටපු IS සටන්කරුවකු විසින් ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ නායකත්වය සම්බන්ධයෙන් තිබූ පැහැදීම කඩ වීමෙන් පසු එම සංවිධානයේ අභ්‍යන්තර කටයුතු ප්‍රධානියෙකු භාරයේ තිබූ දත්ත ගබඩා කරන ලද පරිගණක උපාංගයක් (memory stick) සොරකම් කිරීමෙන් පසු ජර්මනියේ ත්‍රස්ත මර්දන ඒකකය වෙත ලැබී ඇති බවයි ‘ස්කයි’ පුවත් සේවය වාර්තා කරනු ලැබුවේ.

ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසන්නේ ලිපි ගොනු වල අඩංගු තොරතුරු නිවැරදි බව පරීක්ෂණ වලින් හෙළි වෙමින් පවතින බවයි.