'වේතනයේ හිලව්වට ස්ත්‍රී දූෂනයට අවසර'

Image copyright AFP

දකුණු සූඩානයේ යුද හමුදාවට මිත්‍ර සන්නද්ධ කණ්ඩායම් වලට ලබා දෙන වේතනය වෙනුවට කාන්තාවන් දූෂණය කිරීමට අවසර ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

දකුණු සූඩානයේ ‘යුනිටි’ ප්‍රාන්තයේ පමණක් පසුගිය වසර තුල මේ ආකාරයෙන් වේතනයේ හිලව්වට කාන්තාවන් එක්දහස් තුන්සීයක් දූෂණයට ලක් වී ඇති බවයි එම සංවිධානය පවසන්නේ.

මීට අමතරව ඇමිනෙස්ටි ජාත්‍යන්තරය නිකුත් කළ වාර්තාවකින් හෙළි වී තිබෙන්නේ දකුණු සූඩාන හමුදාව විසින් රඳවා ගෙන සිටි පිරිමින් සහ ළමුන් හැටකට අධික පිරිසක් කන්ටේනර් පෙට්ටියක් තුල සිර කොට මරා දමා ඇති බවයි.

Image copyright BBC World Service

ඉදිරිපත් වී ඇති චෝදනා සියල්ල දකුණු සූඩාන රජය විසින් ඉදිරිපත් ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් කියා සිටින්නේ සිය හමුදා සිවිල් වැසියන් ඉලක්ක නොකරන බවයි.

සිදු වන ලිංගික අපරාධ වල ස්වභාවය සහ ප්‍රමාණය දෙස බලන විට ලෝකයේ දරුණුම සහ පිළිකුල් සහගතම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදු වන රට ලෙස දකුණු සූඩානය හැඳින්විය හැකි බවයි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් පවසන්නේ.

Image copyright Reuters

සිය සැමියා ඝාතනය කිරීමෙන් පසු වයස අවුරුදු පහළොවක දියණිය හමුදා සොල්දාදුවන් දස දෙනෙකු අතින් දූෂණය වූ ආකාරය බලා සිටීමට තමන්ට සිදු වූ බවයි එක් සූඩාන කාන්තාවක් කියා සිටියේ.

ගැහැණු ළමුන් පැහැර ගෙන ගොස් සමූහ දූෂණයට ලක් කරන දකුණු සූඩාන හමුදා සිවිල් වැසියන් කපා කොටා මරා දමන බවයි එක්සත් ජාතීන්ගේ වාර්තා පෙන්වා දෙන්නේ.

2013 වසරේ සිට මේ දක්වා දකුණු සූඩාන සිවිල් යුද්ධයෙන් දහස් ගණනක් සාමාන්‍ය වැසියන් ඝාතනය වී ඇති අතර මිලියන ගණනක් අවතැන් වී තිබේ.