ලිංගික වහලුන්ට 'අයිඑස් කැරලිකරුවන්ගෙන් උපත් පාලන'

Image caption ගැබ්බර නොවන්නේ නම් පමණක්, වහල්භාවයේ සිටින කාන්තාවක් දූෂණයට ලක් කළ හැකි බවට වූ ඉස්ලාම් ආගමේ සඳහන් අර්ථකතනය යොදා ගනිමින් අයිඑස් කැරලිකරුවන් එලෙස සිය බාරයේ සිටින කාන්තාවන්ට උපත් පාලන ඖෂධ ලබා දෙන බව විශ්වාස කෙරේ

ලිංගික වහලුන් ලෙස යොදා ගන්නා කාන්තාවන් ගැබ් ගැනීමෙන් වළකනු වස් අයිඑස් කැරලිකරුවන් විසින් ඔවුන්ට උපත් පාලන ඖෂධ ලබා දෙන බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත විසින් පවත්වන ලද ගවේෂණයකින් හෙළි වී තිබේ.

ඉහත කී කාන්තාවන් කැරලිකරුවන් අතර තවදුරටත් හුවමාරු කර ගැනීමේ අරමුණින් එලෙස උපත් පාලන ඖෂධ ලබා දෙන බවයි, ගවේෂණයෙන් හෙළි වී ඇත්තේ.

ඉරාකයේ ජිහාඩ් කණ්ඩායම් බාරයේ සිට පළා ආ යසිදි සුළු ජන කොට්ඨාශයට අයත් තිස් පහකට වැඩි කාන්තාවන් පිරිසක් පුවත්පත හා සාකච්ඡාවකට එක් වී තිබේ.

කාන්තාවන් පිරිස පුවත්පතට පවසා ඇත්තේ තමන් ගැබ් ගැනීමෙන් වළකනු වස් අයිඑස් කැරලිකරුවන් විසින් ඖෂධ සහ එන්නත් ලබා දුන් බවයි.

වහල්භාවයේ තබා ගැනීම සහ යසිදි කාන්තාවන් සහ ළාබාල තරුණියන් දූෂණයට ලක් කරන බව අයිඑස් කැරලිකරුවන් විසින් ප්‍රසිද්ධියේ පිළිගෙන තිබේ.

ගැබ්බර නොවන්නේ නම් පමණක්, වහල්භාවයේ සිටින කාන්තාවක් දූෂණයට ලක් කළ හැකි බවට වූ ඉස්ලාම් ආගමේ සඳහන් අර්ථකතනයක් යොදා ගනිමින් අයිඑස් කැරලිකරුවන් එලෙස සිය භාරයේ සිටින කාන්තාවන්ට උපත් පාලන ඖෂධ ලබා දෙන බවයි විශ්වාස කෙරෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර