'කුල ගර්වය': ජීවිතයෙන් වන්දි ගෙවීමක්

Image caption පහර කෑමට ලක් වූ ඔහුගේ බිරිඳ දරුණු ලෙස තුවාල ලැබීම හේතුවෙන් රෝහල් ගත කොට ඇත

ඉන්දියාවේ හින්දු කුල සම්මතයට අනුව ඉහළ යැයි සම්මත කුලයක තරුණියක හා විවාහ වූ තමිල්නාඩු ප්‍රාන්තයේ විසි දෙහැවිරිදි ඉංජිනේරුවකු මහමඟදී ප්‍රසිද්ධියේ කපා කොටා මරා දමා තිබේ.

පීඩිත දලිත් කුල ප්‍රජාවට අයත් ඉහත කී තරුණයා මහ දවල් ඝාතනයට ලක් වී තිබෙන්නේ ජනතාව බහුලව ගැවසෙන කාර්ය බහුල මංසන්ධියක් අසලදී.

ඔහුගේ බිරිඳ ද පහර කෑමට ලක් වී ඇති අතර දරුණු ලෙස හිසට තුවාල සිදු වීම හේතුවෙන් ඇය රෝහල් ගත කොට ඇත.

අධ්‍යාපනය ලබන අතරවාරයේ ප්‍රේමයෙන් වෙලුනු ඔවුන් දෙදෙනා මීට මාස අටකට ඉහතදී විවාහ වී ඇත්තේ තරුණියගේ පවුලේ දැඩි විරෝධය හමුවේයි.

ඇයගේ පියා පොලිසියට භාර වී ඇති අතර ඇයගේ මාමා කෙනෙකු සහ පහර දීම සිදු කොට යතුරු පැදියකින් පළා ගිය තවත් තිදෙනකු සොයා මෙහෙයුම් සිදු කරන බව බලධාරීහු පවසති.

උඩුමලෙයිපේටෙයි නගරයේ ජනයා බලා සිටියදී මහමඟ ඇද ගෙන යමින් විවාහක යුවලට පහර දෙන ආකාරය දැක්වෙන CCTV වීඩියෝ දර්ශන අන්තර්ජාලය තුළ බහුල වශයෙන් කතාබහට ලක්වෙමින් පවතී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර