සිරියාවෙන් හමුදා ඉවත් කර ගන්නවා - පූතීන්

Image copyright RIA Novosti

සිරියාවේ නියුක්ත කර සිටින රුසියානු හමුදා නැවත රුසියාවට කැඳවන බවට ඊයේ (සඳුදා) ජනාධිපති ව්ලැදිමීර් පූතීන් විසින් කළ අනපේක්ෂිත ප්‍රකාශයෙන් පසු මේ වන විට හමුදා කණ්ඩායම් සිය රට බලා යාම ආරම්භ කර ඇත.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේ අද (අඟහරුවාදා) උදෑසන පළමු ප්‍රහාරක යානා කණ්ඩායම සිරියාවේ ‘මෙයිමිම්’ ගුවන් හමුදා කඳවුරෙන් පිටත්ව ගිය බවයි.

බටහිර බලධාරීන් රුසියානු ජනාධිපතිවරයාගේ තීරණයට සිය ප්‍රසාදය පළ කර ඇති අතර කියා සිටින්නේ මේ හේතුවෙන් සිරියානු රජය සාම සාකච්ඡා වලට සහභාගී කරවා ගැනීමට යම් ධනවාදී බලපෑමක් එල්ල වනු ඇති බවයි.

සිරියානු අර්බුදය විසඳීම වෙනුවෙන් වූ සාම සාකච්ඡා පැවැත්වෙන දෙවන දිනය අදයි.

රටවල් දෙක අතර අර්බුදයක්?

Image copyright Reuters
Image caption රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූතීන් සහ සිරියානු ජනාධිපති බශාර් අල් අසාද්

ඒ අතර සිරියාවේ සිදු වූ බවට සැක කෙරෙන යුද අපරාධ පිළිබඳ වාර්තාවක් එක්සත් ජාතීන්ගේ කොමිසම විසින් ඉදිරිපත් කිරීමට නියමිතයි.

රුසියානු ජනාධිපතිවරයා සිය හමුදා සිරියාවෙන් ඉවත් කර ගැනීමට තීරණය කර තිබෙන්නේ එරට ආරක්ෂක සහ විදේශ අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

සිරියානු ජනාධිපති බශාර් අල් අසාද් රජයේ සමීපම මිතුරා රුසියාවයි.

කෙසේ වෙතත් රුසියානු ජනාධිපතිවරයාගේ මෙම තීරණයට හේතුව නායකයන් දෙදෙනා අතර ඇති වූ අර්බුදයක් බවට පැතිරෙන අනුමාන ප්‍රතික්ෂේප කරන සිරියාව සහ රුසියාව ප්‍රකාශයක් කරමින් කියා සිටින්නේ හමුදා ඉවත් කර ගැනීමේ තීරණය රටවල් දෙකම එකඟ වී ගනු ලැබූවක් බවයි.