මියන්මාරයට පුංචි කැබිනට් මණ්ඩලයක්

Image copyright AFP

ලබන මාසයේ දිව්රුම් දෙන නව කැබිනට් මණ්ඩලය අපේක්ෂා නොකළ මට්ටමින් කුඩා එකක් වනු ඇතැයි බුරුමයේ නව ආණ්ඩුව විසින් නිවේදනය කරනු ලැබ ඇත.

තිස් හය දෙනකුගෙන් සමන්විත වත්මන් කැබිනට් ඇමතිවරුන්ගේ සංඛ්‍යාව විසි එක් දෙනකු වනු ඇතැයි එම නිවේදනයේ දැක්වෙයි.

එම කැබිනට් ඇමතිවරුන්ගෙන් දහඅට දෙනෙක් පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් හිමි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංගමයෙන් පත් කෙරෙන අතර තවත් ඇමතිවරුන් තුන් දෙනකු යුද හමුදාව විසින් නම් කරනු ඇත.

මෙවර මියන්මාර් කැබිනට් මණ්ඩලයට ‘ජනවාර්ගික සබඳතා’ යනුවෙන් නව ඇමති පදවියක් ද නිර්මාණය කරනු ලැබ ඇති බවයි නව මියන්මාර් ආණ්ඩුව පවසන්නේ.

මියන්මාරයේ අවුරුදු පනහකට අධික කාලයකට පසු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් බලයට පත් පළමු ආණ්ඩුව මෙයයි.

එම ආණ්ඩුවට නායකත්වය දෙනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංගමයේ නායිකා අවුං සාන් සූචි විසිනි . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් උද්ගත කරන ලද සීමාවන් නිසා ඇයට ජනාධිපති පදවිය අහිමි වූ අතර ඒ වෙනුවට ඇයගේ කිට්ටු සගයකු වන Htin Kyaw මියන්මාරයේ ජනාධිපති පදවියට පත්ව සිටියි.