කාම්බෝජ අගමැති ෆේස්බුක් මනාප ව්‍යාපාරයක

Image copyright Reuters

කාම්බෝජයේ අගමැති සිය ජනප්‍රියත්වය ඉහළ නැංවීමේ අදහසින් ෆේස්බුක් අඩවියේ ඔහුගේ පිටුවට කැමැත්ත පළ කිරීමේ වාර ගණන වැඩි කර ගැනීමට පුද්ගලයන්ට මුදල් ලබා දෙන බවට ඉදිරිපත් වන චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ඔහු මෙම චෝදනා ප්‍රතික්ෂේප කළේ කාම්බෝජයේ විපක්ෂ නායකයා විසින් අගමැතිවරයා සිය ජනප්‍රියත්වය වැඩි කර ගැනීමට වංචනික ලෙස ක්‍රියා කරන බවට කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.

හැට තුන් හැවිරිදි අගමැති ‘හන් සෙන්’ සිය එදිනෙදා ජීවිතයේ සිදුවීම් නිරන්තරයෙන් ෆේස්බුක් පිටුවේ සටහන් කරන අතර තමන් ‘ඩිජිටල් ඩයිනසෝරයෙකු’ ලෙස හඳුන්වා ගනියි.

පසුගිය සැප්තැම්බර් මාසයේ ආරම්භ කරන ලද ඔහුගේ ෆේස්බුක් පිටුවට මේ වන විට ලක්ෂ තිස් දෙකක ප්‍රමාණයක් සිය ‘කැමැත්ත’ (Likes) පළ කර තිබේ.

වැඩි කැමැත්ත ඉන්දියාවෙන්

Image copyright Sam Rainsy
Image caption කාම්බෝජ විපක්ෂයේ නායක රෙයින්සිගේ ෆේස්බූක් ගිණුම

පසුගිය සතියේ ‘පොනම් පෙන් පෝස්ට්’ පුවත් සේවය වාර්තා කළේ අගමැතිවරයාගේ ෆේස්බුක් ගිණුමට කාම්බෝජයේ ෆේස්බුක් ගිණුම් වලින් ‘කැමැත්ත’(Likes) පළ කර තිබෙන්නේ 20% ක් පමණක් වන අතර වැඩි ප්‍රමාණයක් ‘කැමැත්ත’(Likes) පළ වී තිබෙන්නේ විදේශ රටවලින් බවයි.

ඊට අමතරව ‘හුන් සෙන්’ ට කැමැත්ත පළ කර ඇති බොහෝ ෆේස්බුක් ගිණුම් ඉන්දියාවේ ආරම්භ කරන ලද ගිණුම් වන බවයි ‘පොනම් පෙන් පෝස්ට්’ වාර්තාවේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත් ලක්ෂ විසි තුනක ප්‍රමාණයක් ‘කැමැත්ත’(Likes) පළ කර තිබෙන කාම්බෝජ විපක්ෂයේ නායක රෙයින්සිගේ ෆේස්බූක් ගිණුම අගමැතිවරයාගේ පිටුවට වඩා අඩු ජනප්‍රියත්වයක් පෙන්නුම් කළද ඔහුගේ ගිණුමට කැමැත්ත පළ කර ඇති බහුතරයක් කාම්බෝජ වැසියන් වෙයි.

අගමැති ‘හන් සෙන්’ කියා සිටියේ විපක්ෂ නායකයා චෝදනා කරන ආකාරයට තමන්ට ඉන්දියාවේ පුද්ගලයන් මුදලට ගෙන ‘කැමැත්ත’ පළ කරන වාර ගණන වැඩි කර ගැනීමේ හැකියාව ඇති නම් තමන් ඉතා දැවැන්ත චරිතයක් වන නමුත් සැබවින්ම සිදු වී ඇත්තේ තමාව ඉන්දියානුවන් විසින් අගය කිරීමක් පමණක් වන බවයි.

කාම්බෝජයේ මැතිවරණ වලදී තරුණ පරපුරේ ඡන්ද ලබා ගැනීමට සමාජ මාධ්‍ය වල දේශපාලනඥයන් දරන ස්ථාවරය සහ ජනප්‍රියත්වය බෙහෙවින් වැදගත් වෙයි.