සංක්‍රමණිකයන් ග්‍රීසියෙන් තුර්කියට: නව සම්මුතියක්

Image copyright

බ්‍රසේල්ස් හිදී පැවැත්වෙන යුරෝපා නායකයන්ගේ සමුළුවේ දී යුරෝපා සංගමය සහ තුර්කිය සංක්‍රමණික අර්බුදය විසඳීම සඳහා වූ එකඟතාව සකස් කිරීම අවසන් කිරීමට සමත්ව තිබේ.

නිල වශයෙන් එම ගිවිසුම බල ගැන්වීමට නම් යුරෝපා සංගම් සාමාජික රටවල් වල ඡන්දය විමසිය යුතුයි.

මේ අතර සමුළුවට සහභාගී වීමට බ්‍රසේල්ස් නුවරට පැමිණි තුර්කි අගමැතිවරයා මාධ්‍ය අමතමින් කියා සිටියේ සංක්‍රමණික අර්බුදය මානවීය ප්‍රශ්නයක් මිස කේවල් කිරීමේ තුරුම්පුවක් නොවන බවයි.

කෙසේ වෙතත් ජර්මානු විදෙස් කටයුතු කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ කිසිම හේතුවක් මත තුර්කිය සමග යුරෝපා සංගමය ඇති කර ගත් එකඟතාව සංගමයේ ප්‍රතිපත්ති හෝ විශ්වාසයන්ට එරෙහිව සිදු නොකරන බවයි.

Image copyright Getty

නව එකඟතාවට අනුව එළඹෙන ඉරිදා සිට යුරෝපයට ඇතුළු වීමේ අදහසින් ග්‍රීසියට ලඟා වී සරණාගත භාවය පතා අයැදුම්පත් ප්‍රතික්ෂේප වන සංක්‍රමණිකයන් නැවත තුර්කියට හරවා යැවෙනු ඇති.

ඊට අමතරව මේ වන විට තුර්කියේ සිටින සංක්‍රමණිකයන්ගෙන් සරණාගත භාවය සඳහා වූ අයැදුම්පත් සාර්ථකව ඉදිරිපත් කර ඇති දහස් ගණනක ප්‍රමාණයකට යුරෝපා රටවල රැකවරණය ලබා දීමට නියමිතයි.

අනතුරු ඇඟවීමක්

Image copyright Getty

මේ අතර ලිබියාවේ අවතැන් වී සිටින ලක්ෂ පහක පමණ ජනතාව බොහෝ දුරට යුරෝපයට සංක්‍රමණය වීමට උත්සාහ ගනු ඇති බවට යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ආයතනයේ ප්‍රධානී ෆෙඩ්රිකා මොගේරිනි අනතුරු අඟවනවා.

පසුගිය සතියේ රොයිටර්ස් පුවත් සේවය අමතමින් ඇය කියා සිටියේ මෙම ලිබියානු ජනතාව මධ්‍යධරණී මුහුද හරහා බෝට්ටු වලින් ඉතාලියට ඇතුළු වීමට උත්සාහ කරනු ඇති බවයි.

ලිබියාවේ දේශ සීමා පාලනය සහ පොලිස් සේවය නැවත නිසි ලෙස ස්ථාපිත කිරීමට අවශ්‍ය සහය ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට යුරෝපා සංගමය සලකා බලමින් සිටින බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.