ලක් වැසියන් ගේ සතුට වැඩි වෙයි

Image caption සෞඛ්‍යය පහසුකම් හා ධනය බෙදී යාමේ අසමතුලිතතාවය හේතුවෙන් සමාජයේ අසතුට වර්ධනය කෙරන බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකාව 'සතුට' පිලිබඳ ලෝක දර්ශකයේ ස්ථාන පහළොවකින් ඉහළට පැමිණ තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වාර්ෂිකව පළ කෙරෙන ‘සතුටින් සිටීම පිලිබඳ ලෝක දර්ශකයේ’ පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව ට හිමි වී තිබුණේ 132 වැනි ස්ථානය වුවද මේ වසරේ දර්ශකය තුළ 117 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකාව සමත් වී සිටී.

සතුට පිලිබඳ මෙම වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සකසනු ලබන්නේ සෑම රටකින්ම පුද්ගලයන් දහසක සංඛ්‍යාවක් යොදාගනිමින්, වසරකට වතාව බැගින් වසර තුනක දී කරනු ලබන අධ්‍යයනයකින් ලැබෙන දත්ත සලකා බැලීමෙනි.

මෙවරත් ඩෙන්මාර්කය ලොව සතුටින්ම සිටින රට ලෙස තම ස්ථානය රැක ගෙන සිටින අතර ලොව අසතුටින්ම සිටින ජනතාව සිටින්නේ බුරුන්ඩි රාජ්‍යයේ බවටයි පෙන්නුම් කෙරෙන්නේ.

ඩෙන්මාර්කයට පසු වඩාත් සතුටින් සිටින ජනතාව සිටින රටවල් වන්නේ පිළිවෙලින් අයිස්ලන්තය, නොර්වේ, පින්ලන්තය, කැනඩාව, නෙදර්ලන්තය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ ස්වීඩනයයි.

සෞඛ්‍යය පහසුකම් හා ධනය බෙදී යාමේ අසමතුලිතතාවය සමාජයේ අසතුට වර්ධනය කිරීමට බෙහෙවින් බලපා ඇති බවයි වාර්තාවට අනුව හෙළිවන්නේ.

ඇමරිකාව 13 වන වන ස්ථානයේ සිටින අතර චීනය 83 ස්ථානයේත්, ඉන්දියාව 118 වන ස්ථානයේත්, ජපානය 53 වන ස්ථානයේත් සිටින බවයි පෙන්නුම්කෙරෙන්නේ.

වඩාත්ම නොසතුටෙන් සිටින රටවල් වන බුරුන්ඩි, සිරියා, ටෝගෝ, ඇෆ්ගනිස්තාන්, රුවන්ඩා වැනි රටවල් බොහොමයක් දුප්පත් රටවල් වන අතර බොහෝ විට ලෙඩ රෝග හෝ යුද ගැටුම් හේතුවෙන් පීඩාවට පත්වී සිටින ජනතාවක් ජීවත්වීම මෙසේ සතුටු දර්ශකයේ පහළ ස්ථානයකට පැමිණීමට හේතුව වී ඇති බවයි පෙනී යන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර