අමාත්‍යංශ කප්පාදුවට මියන්මාර පාර්ලිමේන්තුවේ අනුමැතිය

Image copyright EPA
Image caption අවුන් සාන් සුචීට පාර්ලිමේන්තුවේ වැඩි බලය හිමි වුවත් වර්තමාන ව්‍යවස්ථාවට අනුව ඇයට ජනාධිපති පදවියට පත් විය නොහැකියි

පවතින අමාත්‍යංශ සංඛ්‍යාව තුනෙන් එකක් දක්වා අඩු කිරීම සඳහා මියන්මාර පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.

ඒ අනුව අමාත්‍යංශ පහළොවක් අහෝසි කිරීමට නියමිත අතර ඒ තුළින් ආණ්ඩුවට ඉතිරි කර ගත හැකි මුදල ඩොලර් මිලියන හතරකි.

මියන්මාරයේ නව ආණ්ඩුවක් බලයට පත් වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගනු ලැබූ පළමු පනත මෙයයි.

පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමිව ඇත්තේ අවුන් සාන් සුචීගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයටයි.

'රැකියා කප්පාදුවක් නැහැ'

මියන්මාර පාර්ලිමේන්තුව තුළ ආසන සියයට විසි පහක බලයක් හිමි හමුදා නියෝජිතයන්ද නව පනතට සහාය ලබා දී ඇත.

Image copyright
Image caption අවුන් සාන් සුචීගේ විශ්වාසවන්තයකු වන මියන්මාරයේ නව ජනපති ටින් චෝ

අමාත්‍යංශ ප්‍රමාණය අඩු කෙරෙන නමුත් රජයේ රැකියා කප්පාදුවක් සිදු නොවනු ඇති බවයි මියන්මාරයේ නව ජනාධිපති ටින් චෝ කියා සිටියේ.

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සටන් වැදුණු නායිකා අවුන් සාන් සුචීගේ විශ්වාසවන්තයකු වන ටින් චෝ එරට නව ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් තේරී පත් වූයේ පසුගිය සතියේදීය.

අවුන් සාන් සුචී නායකත්වය ලබා දෙන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයට පාර්ලිමේන්තුවේ වැඩි බලය හිමි වුවත් හමුදා පාලන සමයේ ගෙනෙන ලද වර්තමාන ව්‍යවස්ථාවට අනුව ඇයට ජනාධිපති පදවියට පත් විය නොහැකි වී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර