මත්පැන් විෂ වී පාකිස්තානයේ 'විසි හතරක් මරුට'

Image copyright Getty

නීති විරෝධී ලෙස පෙරන ලද මත්පැන් විෂ වීමෙන් හයිද්‍රාබාද් නුවර වැසියන් විසි හතර දෙනකු මරුමුවට පත් වී ඇති බව පාකිස්තානයෙන් වාර්තා වෙයි.

මරුමුවට පත් පිරිසෙන් බහුතරයක් පාකිස්තාන හින්දු ප්‍රජාවට අයත් වැසියෝ වන අතර සෙසු පිරිස අතර මුස්ලිම් ප්‍රජාවට අයත් වූවෝ ද වෙති.

ඊට අමතරව මත්පැන් විෂ වී රෝගී තත්වයේ පසු වන තවත් කීපදෙනෙක් මේ වන විට රෝහල් ගත කොට ඇත.

Image copyright THINKSTOCK
Image caption නීති විරෝධී ලෙස සකසන ලද මත්පැන් පානය කිරීම හේතුවෙන් සිදු වන මරණ පාකිස්තානයෙන් නිතර වාර්තා වේ

මෙම මත්පැන් නීති විරෝධී ලෙස පෙරන ලද බවට සැක කෙරෙන පුද්ගලයා පළා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඊට සම්බන්ධ බවට සැක පිට තවත් සිව් දෙනකු රැඳවුම් බාරයට ගෙන තිබේ.

අපරාධය මැඩලීමට පොලිසිය පියවර නොගත් බවට චෝදනා කරමින් කෝපයට පත් ප්‍රදේශ වාසීන් විරෝධතාවයක නියැලෙමින් සිටින අතර උද්ඝෝෂකයෝ මාර්ග අවහිර කොට ඇති බවයි පැවසෙන්නේ.

නීති විරෝධී ලෙස සකසන ලද මත්පැන් පානය කිරීම හේතුවෙන් සිදු වන මරණ පාකිස්තානයෙන් නිතර වාර්තා වේ.

එලෙස සකසන ලද මත්පැන් විෂ වීමකින් 2014 වසරේදී දින කීපයක් තුළ හයිද්‍රාබාද් නුවර වැසියන් හතළිස් දෙනෙක් මරුමුවට පත් වූහ.