මියන්මාරයේ නව මුදල් ඇමති හොර උපාධිකාරයෙක්?

Image copyright AP
Image caption මියන්මාරයේ මීළඟ මුදල් අමාත්‍යවරයා වශයෙන් පත්වීමට නියමිත ජෝ වින්

මියන්මාරයේ මීළඟ මුදල් අමාත්‍යවරයා වශයෙන් පත්වීමට නියමිත පුද්ගලයා ව්‍යාජ උපාධියක් ඉදිරිපත් කොට ඇති බව හෙළි වී ඇත.

සිය අධ්‍යාපන සුදුසුකම් දැක්වෙන ලැයිස්තුවේ සඳහන් මූල්‍ය කටයුතු පිළිබඳ ආචාර්ය උපාධිය ව්‍යාජ එකක් බව ජෝ වින් විසින් පිළිගනු ලැබ තිබේ.

ඉහත කී ආචාර්ය උපාධිය, පාකිස්තානයේ ව්‍යාජ විශ්වවිද්‍යාලයකින් මුදල් අය කොට නිකුත් කොට ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් කරුණු හෙළි වූයේ හිටපු සිවිල් සේවකයකු වන ජෝ වින් විසින් ඉදිරිපත් කරනු ලැබූ ජීව දත්ත මියන්මාර පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබීමත් සමගයි.

පසුගියදා පැවති මහමැතිවරණයෙන් ජය ලැබූ අවුන් සාං සුචි ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයට මියන්මාරයේ ආණ්ඩු බලය හිමි වී තිබේ.

ජෝ වින් විසින් ව්‍යාජ උපාධියක් ඉදිරිපත් කරනු ලැබීම ගැට‍ළුවක් නොවනු ඇති බවයි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ ප්‍රකාශකයෙක් බීබීසීයට කියා සිටියේ.