වියට්නාම් මාධ්‍යවේදීන් දෙදෙනෙක් දඟගෙට

වියට්නාමයේ අධිකරණයක් එරට බ්ලොග් මාධ්‍යවේදියකු වසර පහක සිර දඬුවමකට යටත් කර ඇති බව හැනෝයි නගරයෙන් වාර්තා වෙයි.

රාජ්‍ය විරෝධී ලිපි ලේඛන ප්‍රකාශයට පත් කරනු ලැබීමයි එම මාධ්‍යවේදියාට එරෙහිව එල්ල වී ඇති චෝදනා වන්නේ.

කලින් පොලිස් භටයකු වූ එන්ගුයෙන් හූ වින්හ් (Nguyen Huu Vinh) නම් මාධ්‍යවේදියා වියට්නාමයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම නායකයන් සමඟ කලක් ළඟ සබඳතා පවත්වා ගෙන ගිය පුද්ගලයෙකි.

ඔහුගේ සහාය මාධ්‍යවේදියාට අවුරුදු තුනක සිර දඬුවමක් නියම කෙරුණ අතර දෙදෙනාම ඔවුන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි වාර්තා වන්නේ.

ඔවුන් විසින් පවත්වා ගෙන යන ලද "Ba Sam" නම් බ්ලොග් අඩවියට දස ලක්ෂ ගණනින් වෙබ් ග්‍රාහකයන් පිවිසුණ අතර මාධ්‍යවේදීන් දෙදෙනා 2014 වසරේ පටන් අත්අඩංගුවේ තබනු ලැබයි සිටියේ.

මාධ්‍යවේදීන් දෙදෙනා මුදා හරින මෙන් ඉල්ලමින් විරෝධතාවාදීන් විසින් උසාවිය ඉදිරිපිට ගෙන යමින් තිබුණ උද්ඝෝෂණ පොලිසිය විසින් මැඩලන ලද බවක් ද වාර්තා වෙයි.

විරුද්ධ මත නොඉවසීම සම්බන්ධයෙන් වියට්නාමයේ තනි පක්ෂ පාලනය මානව හිමිකම් කණ්ඩායම් වල විරෝධයට නිරන්තරයෙන් ලක් වෙයි.

එරට ප්‍රධාන දහරාවේ ජන මාධ්‍ය රජය යටතේ දැඩි අධිකාරියක් යටතේ පාලනය වෙයි.

මේ අතර වියට්නාම් පාලනය විවේචනයට ලක් කෙරෙන ප්‍රමුඛ වේදිකාව බවට අන්තර්ජාලය පත් වෙමින් පවතී.