'බ්‍රසල්ස් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකියි'

Image copyright Reuters
Image caption තුවාල ලැබූ තුන් සියයක් පමණ පිරිසෙන් 61 දෙනෙකු තවමත් ඉතා අසාධ්‍ය තත්වයේ පසුවන බවයි වාර්තාවන්නේ

අඟහරුවාදා බ්‍රසල්ස් හි දී සිදු වූ බෝම්බ පිපිරීම් වලින් තුවාල ලැබූ පිරිස් තවමත් රෝහල් දැඩි සත්කාර ඒකක යේ ප්‍රතිකාර ලබමින් සිටින බව බෙල්ජියමේ සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි.

මැගී ඩි බ්ලොක් (Maggie de Block) පැවසුවේ තුවාල ලැබූ තුන් සියයක් පමණ පිරිසෙන් 61 දෙනෙකු තවමත් ඉතා අසාධ්‍ය තත්වයේ පසුවන බවයි. එබැවින් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි ඇය සඳහන් කළේ.

බදාදා වාර්තා වූ ආකාරයට ප්‍රහාරකයන් සිව් දෙනෙකු අතරින් දෙදෙනෙකු වන ඛාලිඩ් සහ බ්රාහිම් නම් සොහොයුරන් හඳුනගත් බවයි බලධාරීන් සනාථ කළේ.

අනෙක් ප්‍රහාරකයන් දෙදෙනා අතරින් එක් අයෙකු මියගොස් ඇති අතර අනෙකා පලායමින් සිටින බවයි වාර්තාවන්නේ. එහෙත් ඔවුන්ගේ නම් සනාථ වී නැත.

බ්‍රාහිම් එල් බකරෝයි, සවෙන්ටම් (Zaventem) ගුවන් තොටුපළේ දී තම සිරුරේ සඟවාගෙන සිටි බෝම්බයක් පුපුරුවාහරිමින් 11 දෙනෙකුට මරු කැඳවූ අතර ඛාලිඩ්, මීල්බීක් (Maelbeek) උමං දුම්රිය ස්ථානයේ පුපුරුවා හළ බෝම්බයෙන් 20 දෙනෙකු මරු මුවට පත් විය.

බලධාරීන් සනාථ නොකළ වාර්තාවකට අනුව ගුවන් තොටුපළ ප්‍රහාරයේ දී මියගියේ බවට සැලකෙන තෙවැනි බෝම්බකරු පොලීසියට අවශ්‍යව සිටි ජිහාඩ්වාදියෙකු වන නජීම් ලාච්රාඕයි (Najim Laachraoui) ලෙස නම්කරනු ලැබ තිබේ.

ඉස්ලාම් රාජ්‍ය සංවිධානය මෙම ප්‍රහාරවල වගකීම භාරගෙන තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර