IS නියෝජ්‍ය නායකයා 'මරා දැමෙයි'

Image copyright FBI

සිරියාවේ නියුක්ත කර සිටින ඇමරිකානු හමුදා විසින් ගෙන ගිය මෙහෙයුම් වලදී ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ දෙවැනි ප්‍රධානියා ලෙස සැලකෙන අබ්දුල් රහ්මාන් මුස්තාපා අල් කදුළි ඝාතනය කිරීමට සමත් වූ බව ඇමරිකාව පවසයි.

ඊට මතරව එම මෙහෙයුම් වලදී ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ නායකත්වය සපයන කැරලිකරුවන් කිහිප දෙනෙකුම මරණයට පත් කිරීමට සිය හමුදා වලට හැකි වූ බවයි ඇමරිකාව පවසන්නේ.

ඇමරිකානු ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර් කියා සිටියේ මෙම නායකයන්ගේ අහිමි වීම තුල ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ මෙහෙයුම් යම් පමණකට අඩාල වනු ඇති බවයි.

ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ දෙවැනි ප්‍රධානී අල් කදුළි සිය හමුදා විසින් ඝාතනය වූ බව ප්‍රකාශ කර සිටියත් මෙහෙයුමේ සියලු විස්තර හෙළි කිරීමෙන් ඔහු වැළකී සිටියේය.

Image copyright Getty

අල් කදුළි සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ඕනෑම පුද්ගලයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන හතක ත්‍යාගයක් ලබා දෙන බවට මින් පෙර දී ඇමරිකානු බලධාරීන් විසින් ප්‍රකාශයක් කර තිබුණි.

බ්‍රසෙල්ස් ප්‍රහාරයේ සැක කරුවෝ

ඊට අමතරව ඉස්ලාම් රාජ්‍ය සංවිධානය විසින් වගකීම භාර ගනු ලැබූ බ්‍රසෙල්ස් ප්‍රහාරයට සම්බන්ධ යුරෝපය තුළ සිදු වන සෝදිසි මෙහෙයුම් වල දී තවත් සැකකරුවන් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බ්‍රසෙල්ස් නුවර එක් ප්‍රදේශක දී තවත් සැක කරුවකු වෙඩි තබා අඩපණ කිරීමට පොලිසියට සිදු වූ බව බෙල්ජියමේ ජන මාධ්‍ය වාර්තා කරයි.

Image copyright Reuters

සන්නද්ධ පොලිස් භටයන් මේ ක්‍රියාන්විතයේ යෙදෙන අතරතුර පිපිරුම් හඬ ඇසුණු බවයි වාර්තා වන්නේ.

පුද්ගලයන් තිස් දෙනෙකුට වැඩි පිරිසකට මරු කැඳවමින් අඟහරුවාදා බ්‍රසෙල්ස් හිදී සිදු වූ බෝම්බ පිපිරීම් වලින් අනතුරුව සිදු කළ සෝදිසි මෙහෙයුම් වලින් පුද්ගලයන් හය දෙනෙකු සැක පිට අත්අඩංගුවට ගත් බවයි බෙල්ජියම් පොලිසිය පවසන්නේ.

බ්‍රසෙල්ස් නගරය ඇතුළු දිස්ත්‍රික්ක ගණනක දී ගෙයින් ගෙට ගොස් කළ සෝදිසි මෙහෙයුම් වල දී ය මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත්තේ.