බ්‍රසල්ස් නුවර ගැටුමක්

Image copyright Other

බ්‍රසල්ස් නගරයේ ප්‍රධාන චතුරශ්‍රයට රැස්වූ දක්ෂිණාංශික දැඩි මතධාරීන් විසුරුවා හැරීමට බෙල්ජියම් පොලිසිය අධිබලැති වතුර ප්‍රහාර යොදා ගනිමින් සිටියි.

පසුගිය බ්‍රහස්පතින්දා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට එල්ල කළ මාරාන්තික බෝම්බ ප්‍රහාර වලින් ඝාතනය කෙරුණු පුද්ගලයන් අනුස්මරණය කිරීම වෙනුවෙන් බොහෝ පිරිස් නගර මධ්‍යයට අද දිනයේ රැස්ව සිටියහ.

Image copyright Other

කෙසේ වෙතත් ජනකාය අතර සිටි දක්ෂිණාංශික දැඩි මතධාරී කණ්ඩායමක් මුස්ලිම් කාන්තාවන් කිහිප දෙනෙකු වෙත කඩා පනිමින් නාසි ආචාර පළ කරමින් කෑ කෝ ගැසීමට පටන් ගත් අවස්ථාවේ තත්වය පාලනය කිරීමට පොලිස් කණ්ඩායම් මැදිහත් වී ඇති බවයි වාර්තා වන්නේ.

බ්‍රසල්ස් ජාත්‍යන්තර ගුවන් තොටුපල සහ උමං දුම්රියපොළට එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාර වලින් පුද්ගලයන් විසි අට දෙනෙකු ඝාතනය කෙරුණි.

Image copyright PATRIK STOLLARZ AFP Getty Images

අද දිනයේ බ්‍රසල්ස් නුවර පැවැත්වීමට සංවිධානය කර තිබූ ‘භීතියට එරෙහි පා ගමන’ නම් රැලිය බෙල්ජියන් බලධාරීන් විසින් අත්හිටුවනු ලැබුවේ ප්‍රහාරයේ පරීක්ෂණ වලට බලපෑමක් වන බව පවසමිනි.

බෙල්ජියන් පොලිසිය විසින් මෙහෙයවනු ලැබූ නව වැටලීම් වලින් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා රඳවා ගෙන සිටින බවත් පැවසේ.