පරණ කස්ත්‍රෝ යළි මතු වෙයි

Image copyright Reuters
Image caption ඔබාමා සහ රාවුල් කස්ත්‍රෝ හවානා නගරයේ දී

ඇමරිකානු ජනපති බරක් ඔබාමාගේ කියුබානු සංචාරය සිදු වූ දිනවල නිහඬ පිළිවෙතක් අනුගමනය කළ කියුබාවේ හිටපු නායක ෆිදෙල් කස්ත්‍රෝ එම නිහඬතාව බිඳිමින් පළමු වරට අදහස් දක්වා ඇත.

කියුබානු ආණ්ඩුවේ ‘ග්‍රන්මා’ නිල පුවත්පතට ලිපියක් සපයමින් කස්ත්‍රෝ කියා සිටින්නේ ‘අධිරාජ්‍යය වෙතින් කියුබාවට ත්‍යාග අවශ්‍ය නොකරන’ බවයි.

‘සීතල යුද සමයේ පැවති අමිහිරි මතකය වල දමා මිත්‍රත්වයේ දෑත දිගු කිරීමට කාලය එළඹ ඇති’ බවයි ඇමරිකානු ජනපති බරක් ඔබාමා සිය හවානා සංචාරයේ දී කියා සිටියේ.

එහෙත් සීතල යුද සමයේ ඇමරිකාව, ළදරු විප්ලවීය කියුබාව සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග යළි සිහි කර ගන්නා ලෙස සිය ජනතාවට කියා සිටින ෆිදෙල් කස්ත්‍රෝ, 1961 දී ඇමෙරිකාව විසින් Bay Of pig ආක්‍රමණය කරනු ලැබීම විශේෂයෙන් මතකයට නගා ඇත.

Image copyright AFP
Image caption කියුබානු විප්ලවයේ නියමුවෝ ෆිදෙල් සහ චේ

සංහිඳියාව සම්බන්ධයෙන් ජනපති 'ඔබාමාගේ වචන ඉතා පැණි රස' නමුත් ඒවා කියුබානු ජන ජීවිතවලට 'හෘදයාබාධයක්' විය හැකි බවට ෆිදෙල් කැස්ත්‍රෝ අනතුරු ඇඟවීමක් ද කරයි.