ප්‍රාණ ඇපයේ; ඒත් සතුටින්

පුපුරන ද්‍රව්‍යවලින් පිරවූ බඳ පටියක් පැළඳ ඇතැයි පවසමින් ඊජිප්තු ගුවන් යානය පැහැර ගත් පුද්ගලයා සමග සිනාමුසුව එකට පෙනී සිටින ප්‍රාණ ඇපකරුවකුගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාල අතර සැරිසරමින් ඇත.

සැක කටයුතු බඳ පටිය හොඳින් නිරීක්ෂණය කිරීමේ අරමුණින් තමා ඔහු සමග ඡායාරූපයකට පෙනී සිටි බවයි ස්කොට්ලන්තයේ ඇබඩීන්හි පදිංචි බෙන් ඉනස් පවසන්නේ.

බෙන් ඉනස් 'සන්' පුවත්පතට පවසා තිබුණේ තැති ගැන්මට ලක් වූ මොහොතක ධෛර්යමත්ව සිටීමට තමාට අවශ්‍ය වූ බවයි.

බලහත්කාරයෙන් සයිප්‍රසට ගොඩ බස්සවනු ලැබූ ඊජිප්තු ගුවන් සේවයට අයත් යානය පැහැර ගනු ලැබූ සයිෆ් එල්ඩීන් මුස්තාෆා නමැති පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබූ අතර පුපුරන ද්‍රව්‍යවලින් සමන්විත බවට සැක කෙරුණු බඳ පටිය ව්‍යාජ එකක් බව හෙළි විය.

සයිප්‍රසයේ 'ලානකා' ගුවන් තොටුපලට ගොඩ බස්සවනු යානයේ සිටි මගීන් සියලු දෙනා නිදහස් කර ගැනීමට පැය පහක් පමණ ගත වූ අතර කාර්යමණ්ඩලයට අයත් සේවකයකු ලවා ඡායාරූපය ගෙන තිබුණි.

යානය පැහැර ගැනීමට කටයුතු කළ සයිෆ් එල්ඩීන් මුස්තාෆාගේ ඉල්ලීම වී තිබුණේ තමන් හා විරසකව සිටින සිය බිරිඳ සයිප්‍රසයට ගෙන්වා දෙන ලෙසයි.