මීයෙක් මැරුවොත් තෑග්ගක්

Image copyright Don Mammoser Alamy

පකිස්තානයේ පෙෂාවර් නගරයේ මීයන් මැරීම සඳහා නගරවාසීන්ට ත්‍යාග මුදලක් ලබා දීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

පෙෂාවර් නගරයේ මී උවදුර ඉතා සීග්‍රයෙන් වැඩි වෙමින් පවතින බැවින් මෙම පියවර ගත් බවයි බලධාරීන් පවසන්නේ.

නගරයේ වැසියන් පරිභෝජනය කරන ආහාර පාන, රෙදි පිලි පමණක් නොව නිවෙස් තනා ඇති ඇතැම් අමුද්‍රව්‍ය පවා මීයන්ගේ ගොදුරු බවට පත් වෙමින් ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට මීයකුගේ සපා කෑමෙන් පෙෂාවර් නගරයේ අත දරුවෙකු පවා මිය ගොස් තිබේ.

යුද හමුදා කඳවුරු පවතින ප්‍රදේශ වල එක මීයකු ඇල්ලීම වෙනුවෙන් ඩොලර් තුනක මුදලක් සහ නගරයේ මීයන් දෙදෙනෙකු අල්ලා ගැනීම වෙනුවෙන් ඩොලරයක මුදලක් ගෙවීමටයි පෙෂාවර් ප්‍රාදේශීය ආණ්ඩුව තීරණය කර තිබෙන්නේ.

පෙෂාවර් නගරයේ බීබීසි වාර්තාකරු පැවසුවේ නගරය ආක්‍රමණය කරමින් සිටින මෙම මීයන් ප්‍රමාණයෙන් ඉතා විශාල වන අතර නිවෙස් වල ඇති කරන බළලුන් පවා මෙම මීයන් ලුහු බැඳීමට බියක් දක්වන බවයි.