බ්‍රසල්ස් ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ වැඩ වරති

Image copyright AP

බෝම්බ ප්‍රහාරයට ලක්ව වසා දමා තිබූ බ්‍රසල්ස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අද (අප්‍රේල් 01 වෙනිදා) නැවත විවෘත කිරීමට නියමිතව තිබුනත් ගුවන් තොටුපොළේ ආරක්ෂක අංශ සාමාජිකයන් වැඩ වර්ජනයක නිරත වීම හේතුවෙන් විවෘත කිරීම කල් දැමීමට සිදු වූ බවයි එහි කළමනාකාරිත්වය භාර සමාගම පවසන්නේ.

මේ වන විට බ්‍රසල්ස් පොලිසිය සමග සාකච්ඡාවක නිරතව සිටින ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් පවසන්නේ ගුවන් ගමන් ආරම්භ කිරීමට ප්‍රථම ගුවන් තොටේ ආරක්ෂාව තර කොට තහවුරු කිරීමට පියවර ගත යුතුව ඇති බවයි.

Image copyright PA

යුරෝපා සංගමයේ කටයුතු සඳහා රාජ්‍ය දූතයන් සහ දෙස් විදෙස් නිලධාරීන් නිතර ගැවසෙන බ්‍රසල්ස් ගුවන්තොටුපොළට එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාර වලින් පුද්ගලයන් තිස් දෙදෙනෙකු ඝාතනය කෙරුණේ පසුගිය මාර්තු විසි දෙවෙනිදායි.

එම ප්‍රහාර වලින් පසු ආරක්ෂක හේතූන් මත වසා දැමුණු ගුවන්තොටුපොළ දින එකොළහක් මුළුල්ලේ විවෘත කෙරුණේ නැත.

ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලය පවසන්නේ බෝම්බ පිපිරීම් හේතුවෙන් හානි වූ පිටත් වීමේ පර්යන්තය යම් තාක් දුරට පිළිසකර කර ඇති අතර 20%ක පමණ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බවයි.