බ්‍රසල්ස් න්‍යෂ්ටික බලාගාර දෙකකට පහර දීමේ සැලැස්මක්

මාර්තු 22 වැනිදා බ්‍රසල්ස් නගරයේ එල්ල කෙරුණ ප්‍රහාර වලින් පසු ඊට නුදුරින් ඇති න්‍යෂ්ඨික බලාගාර දෙකකට ද පහර දීමේ සැලැස්මක් තිබුණ බවට තොරතුරු බලධාරීන්ට ලැබී තිබුණු බව ප්‍රාදේශීය තොරතුරු සේවා මගින් වාර්තා කොට ඇතැයි බෙල්ජියමේ පදිංචි යුරෝපා පාර්ලිමේන්තුවේ වෘත්තිකයකු වන මැණික් හෙට්ටිආරච්චි පවසයි.

ඔහු එම තොරතුරු ඉදිරිපත් කළේ බීබීසී සංදේශය සමඟ දුරකථනය ඔස්සේ සංවාදයකට එක් වෙමින්.

මරා දමන ලද න්‍යෂ්ටික බලාගාර ආරක්ෂක නිලධාරියෙකුට අයත් විද්‍යුත් ප්‍රවේශ පත්‍රයක් අතුරුදහන් වී තිබීම තුලින් සැක ඇති කර ගත් බලධාරීන් බලාගාර සේවකයන් සියලුදෙනා ඉවත් කොට ඒවා ආරක්ෂක අංශ පාලනයට භාර දෙනු ලැබුණ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Image copyright Getty
Image caption සිදුවූ දෙයට වඩා දරුණු ප්‍රහාරයක් කිරීමේ සැලසුමක් පැවති බවට ආරක්ෂක අංශ වලට තොරතුරු ලැබී ඇති බවයි පැවසෙන්නේ

ඒ අනුව පළමු ප්‍රහාර වලට වඩා දරුණු තවත් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක් පැවති බවට ආරක්ෂක අංශ වලට තොරතුරු ලැබී ඇති හෙයින් ගුවන් තොටුපල විවෘත කිරීම ඇතුළු නගරයේ සේවාවන් යථා තත්වයට පත්වීම ප්‍රමාද වන බවයි සංදේශය මතු කළ පැනයකට පිළිතුරු දෙමින් මැණික් හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේ.

බ්‍රසල්ස් ගුවන් තොටුපලේ සමස්ථ කාර්ය මණ්ඩලයෙන් 20% ක් යොදා ගනිමින් ගුවන් තොටුපල කටයුතු කරගෙන යාමේ හැකියාවක් තිබේ දැයි බලධාරීන් සලකා බලමින් සිටින බවයි ඔහු පවසන්නේ.

මුල්‍යමය පාඩුවක්

ඒ මගින් පැයක කාලයක් තුළ දී මගීන් 800 ක ගුවන් ගමන් කළමනාකරණය කර ගැනීමට හැකියාවක් තිබේනම් ගුවන් තොටුපළ විවෘත කිරීමට බලධාරීන් අදහස් කරන බව පවසන මැණික් හෙට්ටිආරච්චි එහෙත් මගී යානා බ්‍රසල්ස් ගුවන් තොටුපල වෙත පැමිණෙන බවක් තවමත් සනාථ වී නැති බවයි සඳහන් කළේ.

එසේම බ්‍රසල්ස් ගුවන්තොටුපළේ ආරක්ෂක අංශය මුළුමනින්ම යථා තත්වයට පත්කළ යුතුව ඇති බැවින් ගුවන් යානා නුදුරින් ඇති නගර දෙකක මෙන්ම නෙදර්ලන්තයේ සහ ප්‍රංශයේ ගුවන් තොටුපල වලට හරවා යවන බවත් ඔහු පවසයි.

Image copyright Reuters

බ්‍රසල්ස් හි 'සවෙන්ටම්' ගුවන් තොටුපලට පැමිණීමට නියමිත ගුවන් යානා වලින් 50% ක් පමණ අවලංගු කර ඇති හෙයින් අතිවිශාල මුල්‍යමය පාඩුවක් සිදු වෙමින් ඇති අතරම යුරෝපා සංගමයේ කටයුතු වලදී අතිශය වැදගත් නගරයක් මේ දක්වා වසා ගෙන තිබීම පිළිබඳව පාලකයින් දෝෂ දර්ශනයට ලක් වෙමින් ඇතිබවයි මැණික් හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේ.

මේ අතර බ්‍රසල්ස් ගුවන් තොටුපොළේ සේවක මණ්ඩලයේ 20% ක් විවිධ අපරාධ වලට සම්බන්ධ අය බවට පොලීසිය විසින් ගුවන් තොටුපල බලධාරීන්ට චෝදනා කර ඇති බව බ්‍රසල්ස් ආපදා මධ්‍යස්ථානය උපුටා දක්වමින් මැණික් හෙට්ටිආරච්චි පවසයි.

පසුගියදා එල්ල කෙරුණ බෝම්බ ප්‍රහාරයෙන් කම්පනයට සහ දුක්මුසු භාවයකට පත්ව සිටින බ්‍රසල්ස් නගරවාසීන් අවිනිශ්චිත තත්වයක සිටින බවත් පොදු ප්‍රවාහන සේවා භාවිතය අඩු වී ඇති බවත් මැණික් හෙට්ටිආරච්චි පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර