මාධ්‍ය නිදහස ඉල්ලූ මාලදිවයින් උද්ඝෝෂකයෝ අත්අඩංගුවේ

Image copyright ap
Image caption මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන්

මාලදිවයින් ආණ්ඩුව මාධ්‍ය නිදහසට බාධා එල්ල කරන බවට චෝදනා කරමින් පැවති උද්ඝෝෂණයකට සහභාගී වූ විරෝධතාකරුවන් පිරිසක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ කළ පිරිස් විසිරුවා හැරීමට පොලිසිය කටයුතු කොට ඇත.

අපහාස නීතිය දැඩි කිරීම සඳහා වන ආණ්ඩුවේ සැලසුම විරෝධතාකරුවන් අතුරින් බහුතරයක් වූ ජනමාධ්‍යවේදීහු ප්‍රතික්ෂේප කරති.

වසර දෙකකට ඉහතදී වාර්තාකරුවකු අතුරුදහන් වීම සහ පුවත්පත් ආයතනයක් තාවකාලිකව වසා දැමීමට ලබා දුන් අධිකරණ නියෝගයක් සම්බන්ධයෙන්ද උද්ඝෝෂකයන්ගේ විරෝධය එල්ල විය.

විරුද්ධ මතධාරීන් සම්බන්ධයෙන් මාලදිවයින් ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත ජාත්‍යන්තරයේ විවේචනයට ලක් වී තිබේ.