ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඊජිප්තුව - සෞදි අරාබිය යා කෙරෙමින් රතු මුහුදේ පාලමක්

ඊජිප්තුව සහ සෞදි අරාබිය යා කරමින් රතු මුහුද හරහා පාලමක් ඉදි කිරීමට තීරණය කර ඇති බව සෞදි අරාබියේ රජු විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.

සෞදි අරාබියේ සල්මාන් රජු කියා සිටියේ ඉදි කිරීමට බලාපොරොත්තු වන පාලම දෙරට අතර මෙන්ම ආසියානු සහ අප්‍රිකානු මහද්වීප අතර වෙළඳ ගනුදෙනු ශක්තිමත් කිරීමට විශාල රුකුලක් සපයනු ඇති බවයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සිය ඊජිප්තු සංචාරයේ දෙවැනි දිනය කයිරෝ අගනුවර ගත කරමින් සිටි අවස්ථාවේදීයි.

Image copyright AFP

2013 වසරේ ඊජිප්තුවේ හිටපු ජනපති බලයෙන් නෙරපීම වෙනුවෙන් දියත් කෙරුණු විශාල වීදියේ විරෝධතාවේ ප්‍රතිඵලයක් ලෙස බලයට පැමිණි අබ්දුල් ෆාත්තාහ සිසි ජනාධිපති ධුරයට පත් වීමත් සමග සෞදි අරාබිය ඇතුළු බොහෝ ගල්ෆ් කලාපීය රටවලින් ඊජිප්තුවට ඩොලර් බිලියන ගණනින් ආධාර ගලා ඒම ඇරඹුණි.

ඉරානයේ ඉතා බලවත් ලෙස ගොඩනැගෙමින් තිබෙන කලාපීය ෂියා මුස්ලිම් ආභාෂය ඉදිරියේ ආරක්ෂක පවුරක් ලෙස ක්‍රියා කිරීමට සුන්නි මුස්ලිම් රටක් වන ඊජිප්තුව මිතුරු රටක් ලෙස සලකා ඔවුන් ශක්තිමත් කිරීමයි සෞදි අරාබියේ අරමුණ වී තිබෙන්නේ.

ඊජිප්තුවෙන් බලවත් සහයක්

යේමනයේ කැරලිකරුවන් මර්දනය කිරීමේ සටනට සෞදි අරාබිය ඊජිප්තුවෙන් බලවත් සහයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන අතරම සිරියාවේ ජනපති බශාර් අල් අසාද්ට එරෙහිව නැගී සිටීමේ දී ඊජිප්තුව සමග පවතින මිතුදම ශක්තියක් කර ගැනීමයි සෞදි අරාබි රජු සල්මාන්ගේ වෑයම.

මෙම වැදගත් රාජ්‍ය සම්බන්ධතා සාකච්ඡා කිරීමේ අරමුණු පෙරදැරි කොට ගෙනයි සෞදි අරාබි රජු ඊජිප්තුවේ සංචාරයක නියැලෙමින් සිටින්නේ.

Image copyright AP

පාලම ව්‍යාපෘතියට සිය සතුට පළ කරමින් ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆාත්තාහ් සිසි කියා සිටියේ රටවල් දෙක යා කරමින් රතු මුහුද හරහා ඉදි කිරීමට බලාපොරොත්තු වන පාලම සෞදි රජුගේ නමින් නම් කිරීමට කැමති බවයි.

රතුමුහුද හරහා පාලමක් ඉදිකිරීමේ යෝජනාව මින් පෙර වාර කිහිපයක දීම සාකච්ඡාවට බඳුන් වුවත් මේ තාක් එය යතාර්ථයක් කර ගැනීමට දෙරටේ නායකයන් අසමත් විය.

පෙර ඉදිරිපත් කෙරුණු යෝජනා යටතේ පාලම ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් කෝටි තුන්සීයත් හාරසීයත් අතර ප්‍රමාණයක් ඇස්තමේන්තු කර තිබුනත් නව යෝජනාව වෙනුවෙන් තවමත් මුදල් ඇස්තමේන්තු කර නැහැ.

සෞදි අරාබියේ සලමාන් රජු මේ වන විට ඊජිප්තුවේ පස් දින සංචාරයක නිරත වෙමින් සිටින අතර ඉදිරි දින කිහිපය තුළ දෙරටේ වෙළඳ ගිවිසුම් සහ සැලසුම් පිළිබඳ වැඩි දුර තොරතුරු ප්‍රකාශයට පත් වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.