ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'SpaceX' යානය ෆ්ලොරිඩා සයුරු අංගනයේ

සිය රොකට් යානයක් ෆ්ලොරිඩා සයුර මත ඉදි කළ වේදිකාවක් මතට සාර්ථකව ගොඩ බස්වනු ලැබූ බව එක්සත් ජනපද 'ස්පේස් එක්ස්'(SpaceX) සමාගම පවසයි.

ඉහත කී අභ්‍යවකාශ සමාගම රොකට් යානයක් සයුර මත ඉදි කළ වේදිකාවක් මතට ගොඩ බැස්සවීමට ගනු ලැබූ උත්සාහයන් හතරක් මීට ඉහතදී ව්‍යර්ථ විය.

'ෆැල්කන් නයින්'(Falcon Nine) රොකට් යානය සයුර මත ඉදි කළ වේදිකාව මතට සිරස් අතට ගොඩ බැස්සවීමට සමත් වීමත් සමග මෙහෙයුම් පාලකයෝ ප්‍රීති ඝෝෂා නැගූහ.

රොකටය යළි පෘථිවිය කරා ළඟා වූයේ සැපයුම් භාණ්ඩ තොගයක් සහිත උප යානයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් මුදා හැරීමෙන් අනතුරුවයි.

ඉහත කී උප යානය පෘථිවිය වෙත ඉරිදා ළඟා වීමට නියමිතයි.

අභ්‍යවකාශ යානා නිර්මාණය කිරීම සඳහා අධික මුදලක් වැය වේ.

සාමාන්‍යයෙන් සෑම අජටාකාශ මෙහෙයුමක් අවසානයේදීම අභ්‍යවකාශ යානා මුහුදට වැටීමට සලස්වනු ලබන අතර එසේ නොකොට එම යානා නැවත ප්‍රයෝජනයට ගැනීම 'ස්පේස් එක්ස්' සමාගමේ අරමුණ වී තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේදී 'ස්පේස් එක්ස්' සමාගම විසින් රොකටයක් සාර්ථක ලෙස ගොඩ බිමට ගොඩබැස්වීමට සමත් විය.