පළා ගිය පැල්මයිරා වැසියෝ යළි නගරයට

සිරියාවේ පෞරාණික පැල්මයිරා නගරය අත්හැර පළා ගොස් යළි පැමිණෙන වැසියන් රැගත් පළමු බස් රථ පෙළ සෙනසුරාදා එම නගරයට ළඟා වීමට නියමිතයි.

ඉස්ලාමීය රාජ්‍යය කැරලිකරුවන් අත පැවති පැල්මයිරා නගරය සිරියානු හමුදා විසින් යළි සියතට ගනු ලැබුවේ මීට දෙසතියකට ඉහතදී.

නගරවාසීන්ට සිය වාසස්ථාන කරා යළි පැමිණීමට අනුමැතිය ලබා දී ඇත්තේ අයිඑස් කැරලිකරුවන් විසින් නගරයේ වළලනු ලැබ තිබූ බිම්බෝම්බ ඉවත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය වසරේ මැයි මාසයේදී ඉස්ලාමීය රාජ්‍යය කැරලිකරුවන් විසින් පැල්මයිරා නගරය අල්ලා ගනු ලැබීමත් සමග එහි සිටි දහස් ගණනක් වැසියෝ නගරය හැර පළා ගියහ.

නගරයේ ඇතැම් කොටස්වලට විශාල වශයෙන් හානි සිදු වී හෝ විනාශ වී ඇති බව බලධාරීහු පවසති.

Image copyright Reuters
Image caption 'ඇලෙපෝ' නගරය

එක්සත් ජාතීන් විසින් ලෝක උරුමයන් ලෙස නම් කරනු ලැබූ ස්මාරක හා පෞරාණික නටබුන් ද ඒ අතර වන බවයි බලධාරීන් කියා සිටියේ.

මේ අතර ඉස්ලාමීය රාජ්‍යය කැරලිකරුවන් අත පැවති මූලෝපාය වශයෙන් වැදගත් උතුරු දිග 'අල් රායි' නගරයේ බලය අල්ලා ගැනීමට සිරියානු කැරලිකරුවෝ සමත් වූහ.

මේ වන විට සිරියානු කැරලිකරුවෝ බෙදී වෙන්ව පවතින 'ඇලෙපෝ' නගරය අල්ලා ගැනීමේ උත්සාහයක යෙදී සිටිති.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර