ලෝක ව්‍යාඝ‍්‍රගහනය යළි හොඳ අතට

Image copyright PA

දශක කිහිපයක් පුරා පැවති ව්‍යාඝ‍්‍රගහනයේ පිරිහීමෙන් පසු නවතම වාර්තා වලට අනුව වනාන්තර වල ජීවත් වන ව්‍යාඝ‍්‍රයන් ප්‍රමාණයේ වැඩි වීමක් දක්නට ලැබෙන බව වන සංරක්ෂණ නිලධාරීහු පවසති.

නව ඇස්තමේන්තුවකින් පෙන්වා දෙන්නේ ලෝකය පුරා වනාන්තර වල තුන්දහස් නමසීයකට ආසන්න ව්‍යාඝ‍්‍රයන් ප්‍රමාණයක් සිටින බවයි.

මින් වසර හයකට පෙර වාර්තා වූ ව්‍යාඝ‍්‍රයන් ප්‍රමාණයට වඩා හත්සීයක් පමණ ප්‍රමාණයක් මේ වසරේ ඇස්තමේන්තුවෙන් ඉහල ගොස් ඇති බවයි එම සංවිධාන පවසන්නේ.

වන සංරක්ෂණ සමීක්ෂණයන්ට අනුව ඉන්දියාව, රුසියාව, නේපාලය සහ භූතානය යන රටවල් වල මෙලෙස ව්‍යාඝ‍්‍රගහනයේ වර්ධනය වීම් පෙන්නුම් කරයි.

සමීක්ෂණය සිදු කළ වන සංරක්ෂණ කණ්ඩායම පවසන්නේ 2020 වන විට මේ වසරේ ව්‍යාඝ‍්‍රගහනය මෙන් දෙගුණයක් ව්‍යාඝ‍්‍රයන් වනාන්තර වල ඇති කිරීම සිය බලාපොරොත්තුව බවයි.

පරම්පරා ගණනාවක් මුළුල්ලේ සිදු වෙමින් පවතින වනාන්තර විනාශය, සම් ලබා ගැනීමට සිදු කෙරෙන නීති විරෝධී දඩයම්, සහ ක්‍රීඩාවක් ලෙස දඩයම් කිරීම යන ප්‍රධාන හේතු මත ලෝකය පුරා වනාන්තර වල වෙසෙන ව්‍යාඝ‍්‍රගහනය දීර්ඝ කාලීන ව පිරිහීමට පත් විය.