ජෝන් කෙරී හිරෝෂිමා විනාශය දැක සසල වෙයි

Image copyright EPA

ජපානයේ හිරෝෂිමා නගරයේ කළ සංචාරය න්‍යෂ්ටික අවි වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වීමේ අවශ්‍යතාව අවධාරණයෙන් මතක් කර දීමක් වූ බව ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි.

හිරෝශිමාවේ න්‍යෂ්ටික බෝම්බය පුපුරා ගිය ස්ථානයේ ගොඩනගා ඇති ස්මාරකය අසල මල් වඩමක් තැන්පත් කිරීමෙන් පසු ජනමාධ්‍ය හමුවක් අමතමිනුයි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ බව කියා සිටියේ.

Image copyright EPA

මේ අනුව දෙවන ලෝක යුද සමයේ න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයට ලක් වූ හිරෝෂිමා නගරය හෝ බෝම්බය පුපුරා ගිය ස්ථානයේ ගොඩනගා ඇති ස්මාරකය බැලීමට පැමිණි ප්‍රථම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා බවට පත් වන්නේ ජෝන් කෙරී.

1945 අගෝස්තු හය වෙනිදා ග්‍රිනිච් වේලාවෙන් උදෑසන 08.10ට ඇමරිකා එක්සත් ජනපදය විසින් හිරෝෂිමාවට හෙළනු ලැබූ න්‍යෂ්ටික බෝම්බය මීටර් හයසීයක වපසරියක් සුනු විසුනු කරමින් පුපුරා ගියේ හැත්තෑ දහසකට ආසන්න ජපාන සිවිල් වැසියන් එක වර ඝාතනය කරමින්.

Image copyright AP

වසර අවසාන වන විට න්‍යෂ්ටික බෝම්බය පුපුරා යාමෙන් ඝාතනය කෙරුණු ප්‍රමාණය එක් ලක්ෂ හතළිස් දහස දක්වා ඉහළ නැගුණි.

බෝම්බය පුපුරා යාමෙන් අහිතකර විකිරණ පරිසරයට මුදා හැරීම සහ තුවාල ලද පුද්ගලයන් අසාධ්‍ය තත්වයට පත් වීම මරණ සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු විය.

'සමාව ඉල්ලීමක්'

හිරෝෂිමාවට බෝම්බය හෙළා දින තුනක් ගත වෙද්දී ඇමරිකාව විසින් දෙවන න්‍යෂ්ටික බෝම්බය ‘නාගසාකි’ නගරයට හෙළනු ලැබූ අතර ජපානයට සිය පරාජය ප්‍රකාශයට පත් කොට යටත් වීමට සිදු වූ එම අවසන් බෝම්බය දෙවන ලෝක යුද්ධයේ අවසානය සටහන් කළේය.

2007 සිට 2011 වසර දක්වා ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා පදවිය දැරූ නැන්සි පෙලෝසි 2008 වසරේදී හිරෝෂිමා නගරයේ සංචාරයක යෙදුනු නමුත් දීර්ඝ කාලීනව න්‍යෂ්ටික බෝම්බ හෙළනු ලැබූ ජපාන නගර සංචාරය කිරීම ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයෝ විශාල වශයෙන් මග හරිති.

Image copyright AP

දෙවන ලෝක යුද්ධය අවසන් කිරීම සඳහා ජපානයට බෝම්බ හෙලීම සිදු කළ යුතුව තිබූ කාර්යයක් ලෙස සලකන බොහෝ ඇමරිකානුවෝ සිය නායකයන් එම නගර සංචාරයට යාම ඔවුන්ගෙන් සමාව ඉල්ලීමක් ලෙස දකින බැවින් අනුමත නොකරති.

කෙසේ වෙතත් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කියා සිටියේ හිරෝෂිමා සංචාරය අතීතය නැවත ආවර්ජනයක් වනු ඇති අතර විනාශකාරී න්‍යෂ්ටික බෝම්බ වලට ජීවිත අහිමි වූවන් අනුස්මරණය කිරීමක් වනු ඇති බවයි.