යේමනයේ සටන් විරාමයක්

Image copyright EPA

වසරකට වැඩි කාලයක් පැවති ගැටුම්වලින් අනතුරුව යේමනයේ ආරම්භ වූ සටන් විරාමය එක්සත් ජාතීන්ගේ ඇගයුමට ලක් වී තිබේ.

යේමනයේ ආණ්ඩුවට පක්ෂ හමුදා කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සහාය ඇතිව ක්‍රියාත්මක වන සටන් විරාමයට තම හමුදාවල සහාය හිමි වන බවයි.

සටන් විරාමය පිළිපදින බව ආණ්ඩුව බිඳ හෙළීමේ උත්සාහයක යෙදී සිටින හුති කැරලිකරුවන් ද පවසා තිබේ.

යේමනයේ පැවති ගැටුම්වලට මැදි වී මරුමුවට පත් සංඛ්‍යාව හයදහසකට අධිකයි.

සඳුදා ආරම්භ වූ සටන් විරාමය රට යළි ගොඩනැගීම සඳහා මහඟු අවස්ථාවක් වනු ඇති බවයි එක්සත් ජාතීන්ගේ යේමනයේ නියෝජිතවරයා කියා සිටියේ.

කෙසේවෙතත් සටන් විරාමය කඩ කොට ඇති බව පැවසෙන සිදුවීම් කීපයක් සනා අගනුවරට පිටතින් පිහිටි ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වේ.

සෞදි අරාබියේ නායකත්වයෙන් සැදුම් ලත් සන්ධානයේ සහාය ලබන ආණ්ඩුවට පක්ෂ හමුදා සහ ඉරානයේ සහාය ලබන හුති කැරලිකරුවන් අතර පැවති ගැටුම් හේතුවෙන් උන්හිටි තැන් අහිමි වූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ විස්සකි.

දෙපාර්ශවය අතර පවතින ගැටුම් නිමා කිරීම සඳහා එකඟත්වයකට පැමිණෙනු වස් අප්‍රේල් මස අවසානයේ කුවේටයේදී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.